laptop-jewelry-stolen-from-magistrates-house

 මහේස්ත්‍රාත්වරියකගේ කඩ වත ප්‍රදේශයේ පෞද්ගලික නිවෙසට ඇතුළු වී එහි බිම් මහලේ ඉදිරිපස කාමරයක තිබී ලැප්ටොප් පරිගණකයක්, රන් මුද්දක් සහ රන්මාලයක් සොරාගෙන ගොස් ඇතැයි කඩවත පොලිසිය සදහන් කරයි. මහේස්ත්‍රාත්වරියගේ මෙම නිවෙසට කොස්තාපල්වරුන් දෙදෙනකු ආරක්ෂක රාජකාරියේ යොදවා ඇති

අතර ඔවුන් දෙදෙනා නිවෙස ඉදිරිපස ඇති මුරකුටියේ රාජකාරියේ නිරතව සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නිවෙස පිටුපසින් ඇති තාප්පයට ඉනිමගක් තබා පෙරේදා මධ්‍යම රාත්‍රියේ හෝ ඊයේ (27) අලුයම් කාලයේ තාප්පයට ගොඩ වී මහේස්ත්‍රාත්වරියගේ ගෙවත්තට යම් පුද්ගලයකු ඇතුළුවී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

බිම් මහලේ පිහිටි මුළුතැන්ගෙයි ජනේලයකින් ඇතුළු වී මෙම දේපළ සොරාගෙන  ගොස් ඇති බවට මූලික පරීක්ෂණවල දී හෙළිවී යැයි පොලිසිය කියයි.සොරකම සිදුවන අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය සහ ඇයගේ දියණිය නිවෙසේ සිට ඇතැයි ද පොලිසිය කියයි.

කැලණිය සොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීහු සහ ඇඟිලි සලකුණු විශේෂඥයෝ මහේස්ත්‍රා ත්වරියගේ නිවෙසට ඊයේ පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.සැකකරු සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් ලබාගැනීම සඳහා පොලිස් නිල සුනඛයකුගේ සහාය ලබාගැනීමට ද පොලිසිය කටයුතු කර ගෙන යයි.කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරික්ෂණ පවත්වති.