කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ NEXT ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් සේව්‍ය හා සේවක දෙපාර්ශ්වය අතර පවතින ගැටලුව විසඳා ගැනීමට හෙට (30) දෙපාර්ශ්වයම කැඳවා ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ එහි පාලනාධිකාරිය සහ සේවකයන් පළමු වරට නියෝජ්‍ය කම්කරු ඇමැති මහින්ද ජයසිංහ මහතා හමුවී පෙරේදා (27) සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදීය.
මීට පෙර මේ දෙපිරිස වෙන් වෙන් වශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයා හමුව තිබේ.
එහිදී NEXT පාලනාධිකාරිය මෙලෙස පැවසීය.
"කම්හල වසා දැමීමට තීරණය කළේ මෙහෙයුම් පිරිවැය අධික වීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලැබීම නිසයි. මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමි වන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට අපේ සමාගම තවදුරටත් සූදානමින් පසුවෙනවා. අකමැත්තෙන් වුවත් කටුනායක පිහිටි මේ කර්මාන්තශාලාව පමණක් වසා දැමීමට සිදු වුණා."
කම්හලේ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ පාලනාධිකාරිය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කම්හල වසා දැමිමට තීරණය කළ බවත්, සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරිය කටයුතු නොකිරීම ගැටලුසහගත බවත්ය.
ඊට පිළිතුරු දෙමින් පාලනාධිකාරිය සඳහන් කළේ අදාළ සාමූහික ගිවිසුම නීත්‍යනුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි.
මේ සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපය භාර අධ්‍යක්ෂ රන්ජන් සිබේරා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(දුලක්ෂි උඩගෙදර)
Comments
Post a Comment
Your comment will be visible after approval