gossiplanka image 1

කොටහේන, ගල්පොත්ත වීදියේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි දිල්ෂි අම්ෂිකා නම් සිසුවිය, ඇයට පාසලේදී සිදුවූ අතවරයකින් පසු සාධාරණයක් ඉටු නොවී කලකතිරීමට පත්ව සිටීමෙන් පසු සමාජයෙන් ආ පීඩනය මැද දිවිනසාගත් පුවත පසුගියදා වාර්තා විය. ඇයගේ දෙමාපියන් හා ලංකා ගුරු සංගමය ඊට දැක්වූ ප්‍රතිචාර හා සිසුවියගේ හිතවතුන් කළ උද්ඝෝෂණ වලින් පසු අධ්‍යාපන අමාත්‍යංශය අදාළ පාසල් ගුරුවරයා මාරුකර තිබේ. මෙම ක්‍රියාමාර්ගය ගන්නා විට

අම්ෂිකා මියගොස් ඇති අතරම සිද්ධියට මාස 7 ක් ගතවී ඇත.

පසුගිය දා ඇය වාසය කරන නිවාස සංකීර්ණයේ 7 වන මහලෙන් පැන මහල් නිවාසය අසළින් ගමන් කරන මාර්ගයට පතිත වී බරපතල තුවාල ලැබුවාය. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇය මිය ගොස් ඇත.

මුල් අවස්ථාවේදී පොලිසිය විසින් වාර්තා කර තිබුණේ මෙම දැරිය කොටහේන ප්‍රදේශයේ පාසැලකට ඇතුළත් කිරීම හේතුවෙන් යම් සිත් තැවුලකට පත්ව සිටි බවත්, ඒ සඳහා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබූ බවත්ය. කෙසේ වෙතත්, දැරියගේ දෙමාපියන් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ දියණියට කිසිදු මානසික රෝගයක් නොතිබූ බවයි.

අනාවරණය වූ සත්‍යය අනුව, ඇය කොටහේන රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ පාසල් ගුරුවරයෙකු අතින් දූෂණයට ලක්වී තිබූ අතර එයට නිසි පියවරක් පාසල විසින් නොගැනීම හේතුවෙන් ඇය සිත්තැවුලෙන් සිට පසුව එම පාසල මාරු කර වෙනත් පාසලකට ගොස් තිබුණේය. වඩාත් කනගාටුදායක කරුණ නම්,

මෙම සිද්ධියේදී ගුරුවරයා නොව සිසුවිය වරදක් කළ ආකාරයෙන් සැලකීමයි. මෙම සිදුවීම 2024 ඔක්තෝබර් 10 දිනට පෙර සිදුවී ඇතත්, ඒ ගැන කිසිදු නිසි පියවරක් ගෙන නොතිබුණි.

සිදුවීමෙන් පසුව, දැරිය මානසිකව ඇද වැටීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබුණි. ඇය වෙනත් පාසලක සිටියදී එම කරුණු අනවශ්‍ය ලෙස ප්‍රචාරය වීමෙන් පසුව, තවත් අවාසනාවන්ත සිද්ධියක් ඇති විය. ටියුෂන් පන්තියකදී ඇය අතවරයට ලක්වීම ප්‍රසිද්ධියේ ප්‍රචාරය කළ තවත් ටියුෂන් ගුරුවරයෙකු නිසා ඇගේ සිත්තැවුල තවදුරටත් වැඩි විය. මෙම අනේකවිධ මානසික පීඩාවන්ගෙන් පසුව, අවසානයේදී ඇය දිවිනසාගැනීමට තීරණය කර තිබුණි.

දැරියගේ මව ප්‍රකාශයක් කරමින්,

"තමන්ට කරදර කරපු අයට වඩා, තමන්ව සමාජය පිළිකුල් කරන තත්ත්වයට පත්වීම නිසා, පාසල් යන්නේ නැහැ කියලා ඇය කිව්වා. අපිට පුළුවන් දේ අපි ඇයට කළා. ඇයව ඒ තත්ත්වයෙන් ගොඩ ගන්න අපි මහන්සි වුණා. මගේ දරුවාට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. කවුරුවත් කතා කළේත් නැහැ. ඇයට සිදුවූ මරණය වගේ තවත් දරුවෙකුට සිදු නොවිය යුතුයි,"


යනුවෙන් පැවසුවාය.

ඇය තවදුරටත් සඳහන් කරමින්,

"අම්මේ, මට වුණ දේ වෙන පාසල් දරුවෙකුට වෙන්න එපා" කියලා ඇය මුල ඉඳලම කිව්වා. පෞද්ගලික පන්ති කාමරයක දී ඇයව නැගිට්ටවලා සියලු දෙනා ඉදිරියේ අවමන් කළා. ඒ නිසා තමයි ඇය වැරදි තීරණයක් අරන් දිවි හානි කර ගත්තේ. මේ සිද්ධියට සාධාරණයක් ලැබෙන්න ඕනෑ,"


යනුවෙන් දැරියගේ මව ප්‍රකාශ කර තිබුණි.

මෙම සාහසික සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඇගේ දෙමාපියන් හා ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියේ අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය පහත නිවේදනය නිකුත් කර ඇත:


කොළඹ විද්‍යාලයක 10 වසර සිසුවියක අපයෝජන සිද්ධිය සම්බන්ධවයි.

කොළඹ පාසලක 2024 වර්ෂයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සම්බන්ධයෙන් මේ වනවිට පාසලේ ඇති වී ඇති නොසන්සුන්කාරී තත්ත්වයට අදාල සිද්ධිය මෙම අමාත්‍යාංශයේ අවධානයට යොමු වූ වහාම එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාල ගුරුවරයා වහා ම ස්ථානමාරු කිරීමටත් කටයුතු කර ඇත. මේ වන විට මෙම සිද්ධියට අදාල පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර එය ලද වහා ම අදාල විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට සිදු වේ.


මෙම කරුණාන්තික සිදුවීම පුළුල් සමාජ සංවාදයක් ඇති කර ඇති අතර, පාසල් සිසු දරුවන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ මානසික සුවතාව සුරැකීම සඳහා වඩාත් සක්‍රීය ප්‍රවේශයක අවශ්‍යතාව මතු කර ඇත. විශේෂයෙන්ම ගුරුවරුන් විසින් සිදුකරනු ලබන අපයෝජන සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු නිසි ක්‍රියාමාර්ග ගැන සලකා බැලීමේ වැදගත්කම පෙන්වා දෙන කරුණකි මෙය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, ඊට වගකිව යුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරීන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.



gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 1
gossiplanka image 2