indika-kumari-liyanage-takes-office-as-the-first-commissioner-general-of-examinations

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවක් විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් කිරීමේ සුවිශේෂී අවස්ථාව ඊයේ දින සනිටුහන් විය. ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙරට එකොළොස්වන විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඊයේ (15) දින විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී වැඩ භාර ගත්තාය.



මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් තනතුරක් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයට කාන්තාවක් පත්වීම ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකිය. ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක වන අතර, එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක ලෙසද කටයුතු කර තිබේ.

තම නව තනතුරට පත්වීමට පෙර ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන්ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙසද වැදගත් වගකීම් දරා ඇත. ඇගේ පළපුරුද්ද හා දක්ෂතාවය මෙම ඉහළ තනතුරට පත්වීමේදී විශාල පිටුවහලක් වී ඇත.



ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධූරය හා විදුහල්පති ධූරයත් හොබවා ඇති අතර, ඇය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇගේ අධ්‍යාපනික සුදුසුකම් සලකා බැලීමේදී, රුහුණු විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ලියනගේ මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන ඇත.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවන් ඉහළ තනතුරකට කාන්තාවක් පත්වීම ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය ඉහළ යාමේ තවත් ප්‍රගතිශීලී පියවරක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් අගය කොට ඇත. ලියනගේ මහත්මියගේ මෙම පත්වීම තුළින් ඉදිරි වසරවල විභාග පද්ධතිය තුළ සාධනීය වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5