වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළි මැගසින් බන්ධනාගාරය වෙත මාරු කර ඇත.
අධික රුධිර පීඩනය රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහුගේ රුධිර පීඩනය ඉහළ ගොස් තිබීම නිසා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබිණි. වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන ඔහුව බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස අධිකරණය ද පසුගියදා නියෝග කර තිබිණි.
පෙරේදා (27) යළිත් ඔහුව පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණේ දුමින්ද දිසානායක මහතාගේ රුධිර පීඩන තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවතින බැවින් ඔහුව තවදුරටත් බන්ධනාගාර රෝහලේ තබාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොමැති බවයි.
ඒ අනුව ඔහුව පෙරේදා (27) පස්වරුවේ මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවට යොමු කර තිබේ.
ඔහුගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයකු මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.