මාතර, පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ දැනටමත් බුදු මැඳුරු දෙකක් තිබියදී තවත් බුදු මැඳුරක් ඉදිකිරීමට යැයි පවසමින් සිසුන්ගේ දෙමාපියන්ගෙන් මුදල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය එකතු කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත.
මෙම ඩඩ්ලි සේනානායක විද්‍යාලය ජාතික පාසල් 1000ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික පාසලක් ලෙස නම් කර තිබුණද, එය තවමත් පාලනය වන්නේ දකුණු පළාත් සභාව යටතේ බව සඳහන් කෙරේ. එම විද්‍යාලයේ ප්‍රාථමික අංශය පිහිටි ප්‍රදේශයේ එක් බුදු මැඳුරක් ද, ද්විතීයික අංශය පිහිටි ප්‍රදේශයේ තවත් බුදු මැඳුරක් ද පිහිටා ඇති අතර, එම බුදු මැඳුරු දෙකම දැනට සිසුන් විසින් දෛනික ආගමික වතාවත් සඳහා භාවිත කරන බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පාසලේ දැනටමත් බුදු මැඳුරු දෙකක් තිබියදී, තවත් බුදු මැඳුරක් ඉදිකිරීමට යැයි කියමින් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් භාවිත කරන වට්සැප් සමූහ වෙත පණිවිඩයක් යවා ද්‍රව්‍යමය සහ මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි මහතා පැවසුවේ, පාසල් සඳහා මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට නම් ඊට විධිමත් අවසරයක් ලබා ගත යුතු බවත්, එලෙස පරිත්‍යාග ලෙස ලැබෙන මුදල් පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට බැර කර එතැනින් වියදම් කළ යුතු බවත්ය. එසේ නොකර මුදල් හෝ පරිත්‍යාග එකතු කිරීම නීත්‍යානුකූල නොවන බව ඔහු අවධාරණය කළේය.
"බුදු මැඳුරක් ඉදිකරනවා නම් ඒ සඳහා විධිමත් අවසරයක් ගන්න ඕනෑ. පළාත් ඉන්ජිනේරු අංශයට දැනුම් දීලා ප්‍රයෝජනයට ගත හැකි බුදු මැඳුරු දෙකම ඉවත් කරන්න ඕනෑ. වැය ඇස්තමේන්තුව අනුමත කරගන්න ඕනෑ. යම් පුද්ගලයකු බුදු මැඳුරක් සෑදීමට මුදල් දෙනවා නම් ඒ මුදල් පාසල් සංවර්ධන සමිතියේ ගිණුමේ තැන්පත් කරලා ඉදිකිරීම් කරන්න ඕනෑ. නැතිව මුදල් සහ ද්‍රව්‍යමය ආධාර එකතු කරමින් මේ වගේ ඉදිකිම් කරන්න බැහැ. ඒක නීති විරෝධීයි. අපි මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නම්," යැයි චන්න උපාලි මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති එච්.ජී.පී.එස්. රෝහණ මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා බුදු මැඳුරක් ඉදිකිරීමට තීරණය කළ බවත්, ඒ සඳහා රජයේ මුදල් වැය නොකර පරිත්‍යාගවලින් එය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්ය. බුදු මැදුරු දෙකක් දැනටමත් පිහිටා ඇති බව ද ඔහු පිළිගත්තේය.
"බුදු මැදුරු දෙකක් තිබෙනවා. අපි තවත් එකක් ඉදිකරන්න තීරණය කළා.
මේ සඳහා රජයේ මුදල් වැය කරන්නේ නෑ, පරිත්‍යාගවලින් ඉදිකරන්නේ."
නමුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම අනුව, පාසල් සඳහා පරිත්‍යාග ලබා ගැනීමට හැකියාව ඇතත්, එවැනි ඉදිකිරීමක් සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විධිමත් අවසරය ලබාගත යුතු අතර, ලැබෙන සෑම පරිත්‍යාගයක්ම පාසල් සංවර්ධන සමිතියේ අරමුදලට බැර කර එම ගිණුමෙන් මුදල් වියදම් කළ යුතුය. එසේ නොවන්නේ නම් එය අල්ලස් හෝ දූෂණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දී ඇත.
වඩාත් සැලකිය යුතු කරුණ වන්නේ, මෙම පාසලේ නව බුදු මැඳුරක් ඉදිකිරීමට මුදල් එකතු කරන අතරතුර, පාසලේ මූලික පහසුකම් පවා ප්‍රමාණවත් නොවීමයි. වාර්තා වන අන්දමට පාසලේ සිසුන්ට සෞඛ්‍යාරක්ෂිතව භාවිත කිරීමට ප්‍රමාණවත් වැසිකිළි පද්ධතියක් නොමැති අතර, දැනට ඇති වැසිකිළි වළවල් උතුරා දෝරේ ගලා යන තත්වයක පවතින බව වාර්තා වේ. පාසලේ ඇති වැසිකිළි සංඛ්‍යාව ද පාසලේ සිසුන් සංඛ්‍යාවට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඒවාද නිසි පරිදි භාවිත කිරීමට නොහැකි තත්වයේ පවතින බව සඳහන් කෙරේ.
මෙම නීති විරෝධී මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඉදිරි දිනවල ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval