ගාල්ල බස් නැවතුම්පොළ අසල පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ සහකාර කළමනාකරුවෙකු වූ 29 හැවිරිදි තරුණයෙකු අද (අප්‍රේල් 29) දහවල් විදුලි සෝපානයක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා මිය ගොස් ඇති බව පොලිසිය නිවේදනය කර සිටී.
මියගිය තරුණයා අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු එම සාප්පු සංකීර්ණයේ සහකාර කළමනාකරුවරයෙකු ලෙස සේවය කර ඇත.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, අනතුර සිදුවී ඇත්තේ තරුණයා බිම් මහලේ සිට තුන්වන මහල දක්වා භාණ්ඩ ගෙන යන අතරතුරදීය. තුන්වන මහලේ සිට විදුලි සෝපානය ඔහුගේ හිස මතට කඩා වැටීමෙන් බරපතළ තුවාල සිදුවී ඇත.
අනතුරින් පසු අවට සිටි පිරිස් විසින් තුවාල ලැබූ තරුණයා වහාම ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.
මෘත දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණී කුලසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් ද නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval