
කෘෂි බෝග හානි කරන වනසතුන් පිළිබඳව හෙට (මාර්තු 15 වැනිදා) පැවැත්වෙන ජාතික සංගණනයට මහජන දායකත්වය ඉහළින් අපේක්ෂා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.
මෙම සංගණනය ජාතික මට්ටමින් ඉතා වැදගත් වන අතර, එමගින් ලබාගන්නා තොරතුරු ශ්‍රී ලංකාවේ ඉදිරි කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන බව ඔහු අවධාරණය කළේය.
පැවැත්වීමට නියමිත සංගණනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ, "දීර්ඝ කාලයක සිට අප රටේ කෘෂිකර්මාන්තයට වනසතුන්ගෙන් සිදුවන හානි පිළිබඳව වාර්තා ලැබුණද, මේ දක්වා ඒ හානි සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් සිදු කර නොමැති බවයි."
"අප රටේ කෘෂිකර්මාන්තයට වනසතුන්ගෙන් සිදුවන හානි ගැන කතාබහ කළද, ඒ පිළිබඳව නිවැරදි දත්ත හා තක්සේරු කිරීම් සිදු කර නොමැත. මෙම සංගණනය තුළින් ඉටු කෙරෙන්නේ එම කාර්යභාරයයි. මෙම සංගණනයේ ප්‍රධාන දායකයා වන්නේ මහජනතාවයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සංගණනය සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පෙළගස්වා ඇති බව ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව දිසාපතිවරයාගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා වූ රාජ්‍ය නිලධාරීන් මෙම සංගණනයට දායක වන බව ඔහු පැවසීය.
ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් කාණ්ඩ හතරක් ග්‍රාමීය මට්ටමින් මෙම සංගණනයට සහභාගී වන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
තවද, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් එක් එක් දිස්ත්‍රික්කවලට විශේෂ කණ්ඩායම් යොදවමින් සංගණනයට මඟපෙන්වීම් සිදු කරන බවද,
පළාත් ලේකම්වරුන්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් හා කෘෂිකර්ම උපදේශකවරුන් මෙම සංගණනයට සහාය දක්වන බවද වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.
මෙම සංගණනය ජාතික වශයෙන් අතිශයින් වැදගත් වන අතර, ඒ සඳහා මහජන දායකත්වය ඉතා ඉහළින් අපේක්ෂා කරන බව ලේකම්වරයා අවසානයේ සඳහන් කළේය.
මෙම සංගණනය තුළින් ලැබෙන දත්ත මත පදනම්ව, කෘෂි බෝගවලට වනසතුන්ගෙන් සිදුවන හානි අවම කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සකස් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කරන බවද වාර්තා වේ.
මාර්තු 15 වන දින දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම සංගණනය එකවර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ගොවිජන සේවා කොට්ඨාස මට්ටමින් එම දත්ත එක්රැස් කිරීමට නියමිතය.
මෙම සංගණනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් පුළුල් මාධ්‍ය ව්‍යාපාරයක්ද දියත් කර ඇති අතර,
ඒ හරහා උපරිම මහජන සහභාගීත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම අලි-මිනිස් ගැටුම, කෘෂි බිම්වලට රිළවුන්, වඳුරන්, ලේනුන්, හාවුන් ආදී වනසතුන්ගෙන් සිදුවන හානි පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන එක්රැස් කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණ ලෙස සැලකේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ, මෙම සංගණනය හරහා ලැබෙන දත්ත, වනසත්ව කළමනාකරණය හා වන්දි ගෙවීම් ක්‍රමවේද සංවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බවයි. විශේෂයෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වඩාත් විද්‍යාත්මක හා ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීමට මෙම දත්ත උපකාරී වනු ඇත.
සංගණනය සඳහා උනන්දුවක් දක්වන සියලුම ගොවි මහතුන්ට හා ගොවි සංවිධානවලට සක්‍රියව සහභාගි වන ලෙස ලේකම්වරයා ඉල්ලා සිටින අතර, මෙම සංගණනය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඍජුවම දායක වන බවද අවධාරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval