risks-to-the-home-solar-industry

සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය පසුගියදා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියේය. ඒ, වහළ මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවලින් උත්පාදනය කරනු ලබන විදුලිය සඳහා ගෙවන ගාස්තුව තවදුරටත් අසාධාරණ ලෙස අඩු කිරීමෙන් වළකින ලෙසයි. තවදුරටත් සූර්ය බල විදුලිය සඳහා ගෙවන ගාස්තුව අඩු කරනු ලැබුවහොත් ඉන් කර්මාන්තයේ වර්ධනයට බලපෑමක් එල්ල විය හැකි බවත්, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමට දරන උත්සාහය ඉන් බාධාවක් විය හැකි බවත් සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය එහිදී අනතුරු ඇඟවීය.

පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවේදී ගාස්තු අඩු කිරීමෙන් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක පිළිබඳව කර්මාන්ත නියෝජිතයෝ පැහැදිලි කිරීමක් සිදු කළහ. සංගමයේ සභාපති ජාවිඩ් කමිල් මහතා ප්‍රකාශ කර සිටියේ සූර්ය බලශක්ති කර්මාන්තය අස්ථාවර සහ අනපේක්ෂිත ප්‍රතිපත්ති සමග පැවැත්මක් නොමැති බවයි. ආර්ථික වර්ධනයට මෙන්ම මෙරටට සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ගෙන ඒමට සූර්ය බලශක්ති කර්මාන්තය දායක වන බැවින්, තම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් වෙනස් නොවන සාධාරණ ප්‍රතිපත්තියක් සිය කර්මාන්තය සඳහා ක්‍රියාත්මක කරන ලෙස යැයි කමිල් මහතා පැවසීය.


මීට මාස හයකට පෙර සූර්ය බල විදුලිය සඳහා ගාස්තුව රුපියල් 37ක් වූ බවත්, එය සියයට 40කින් අඩු කරමින් රුපියල් 27 දක්වා අඩු කිරීමට බලධාරීන් කටයුතු කළ බවත් කමිල් මහතා පැහැදිලි කළේය. එසේ අඩු කළ ගාස්තුව නැවතත් අඩු කිරීමට බලධාරීන් සූදානම් වන බවත්, එමගින් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටිනු ඇති බවද ඔහු අවධාරණය කළේය.

පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ වහළ මත සවිකළ සූර්ය බලශක්ති කර්මාන්තය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවත්, සේවකයන් 40,000කට රැකියා සපයා තිබෙන බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 1,000ක් ඒ වටා ගොඩනැගී තිබෙන බවත් සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ඉටුකර ගැනීම සඳහා සූර්ය බලශක්ති ව්‍යාපාරය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත්, කෙසේ නමුත් මෑතකදී සිදු කරන ලද සහ යෝජිත ගාස්තු කප්පාදුවෙන් සූර්ය බලශක්ති කර්මාන්තය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය සැලකිය යුතු ලෙස දෙදරී යා හැකි බවත් කමිල් මහතා අවධාරණය කළේය. සූර්ය බලශක්ති ව්‍යාපෘති 1,000ක්, එම ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ මුදල් සහ බලශක්ති ඉතුරුම් එමගින් අනතුරේ හෙළෙන බවද ඔහු පෙන්වා දුන්නේය.


මේ අවස්ථාවේදී සූර්ය බලශක්ති කර්මාන්තය වැදගත් සංධිස්ථානයක සිටින බවත්, තවත් මාස හයකින් ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බවත් සභාපතිවරයා පැවසීය. එමගින් ආයෝජකයන්ගේ විශ්වාසය අවතක්සේරුවට ලක්වනු ඇති බවත්, ඕනෑම වෙළෙඳපොළක සාර්ථකත්වයට ස්ථාවරත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක සූර්ය බලශක්ති දායකත්වයක් ලබා දී තිබෙන බවත්, එය මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 5ක් බවත් කමිල් මහතා සඳහන් කළේය. එලෙස සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නත්, වහළ මත සවි කළ සූර්ය බලශක්ති කර්මාන්තය ලාභදායී, දේශීයව අරමුදල් සපයන බලශක්ති විසඳුමක් වුවද එයට ලැබිය යුතු නිසි හඳුනාගැනීම තවමත් ලැබී නැති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් සූර්ය බලශක්ති නිෂ්පාදකයන්ට සාධාරණ මිලක් ලැබෙන, පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති රාමුවක් වහළ මත සවිකළ සූර්ය බලශක්ති කර්මාන්තයට ලැබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. රජය ගාස්තු හුදෙක් ගණිතමය සූත්‍ර ලෙස නොසැලකිය යුතු බවත්, ඒ වෙනුවට පුළුල් ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන තීරණ ගත යුතු බවත් කමිල් මහතා අවසාන වශයෙන් අවධාරණය කළේය.