
ප්‍රකට මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහගේ සැමියා වන අගොස්තිනුගේ සමරජීව (60) මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය සිදු කළ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව ගැටලු මතුවීමත් සමඟ ගල්කිස්ස අධිකරණය මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පවරා ඇත.
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (04) මෙම නියෝගය ලබා දුන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන ක්‍රියාවලියේ අඩුපාඩු සම්බන්ධයෙන් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
මීට මාස දෙකකට පෙර සිදුවූ සිදුවීමෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හේමජීව මහතා මියගියඅතර, ඔහුගේ සිරුරේ බරපතල තැලුම් තුවාල හා හිසෙහි අධික ලෙස ලේ වහනය වී ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ ප්‍රධාන වෛද්‍ය ඒ. දයාපාල මහතා ප්‍රකාශ කර තිබේ.
මියගිය හේමජීව මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ එක් දියණියක් වෛද්‍ය පීඨයේත් අනෙක් දියණිය ඉංජිනේරු පීඨයේත් අධ්‍යාපනය ලබයි. ඔහු දිවා කාලයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කර ඇත.දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි සමරජීව මහතා මීට මාස දෙකකට පමණ පෙර පසුගිය ජනවාරි 01 වන දින සුපුරුදු පරිදි රැකියාවට පිටත්ව ගොස් එදින රාත්‍රී නිවසට පැමිණ නොතිබිණි. ඔහුගේ බිරිඳ වන ශ්‍රියානි විජේසිංහ මහත්මිය දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දී ඇතත්, අවසානයේදී එම දුරකථනයට පිළිතුරු දී ඇත්තේ දෙහිවල පොලිස් නිලධාරියෙකි.
දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකගේ නිවසෙහි මිදුලෙහි පුද්ගලයෙකු වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. ඒ අනුව, රාත්‍රී 11.00ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා ඇතත්, තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවේදී රෝහල්ගත කිරීමට කටයුතු කර නොමැත.
කෙසේ වෙතත්, දිගු වේලාවකට පසු නැවතත් නීතිඥවරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව 1990 ගිලන්රථ සේවයේ නිලධාරීන් පිරිසක් සමරජීව මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලැබූ ඔහු ජනවාරි 3 වන දින උදෑසන මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග සිදු කර ඇති බවයි:
1. තුවාල සහිත පුද්ගලයා වහාම රෝහල්ගත කිරීමට කටයුතු නොකිරීම
2. තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇඳවීමට කටයුතු කිරීම
3. මරණය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකිරීම
මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, මරණයට හේතුව මොට ආයුධයකින් පහර දීමක් ලෙස සඳහන් වී ඇති බව නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් දෙහිවල පොලිසියේ හැසිරීම සහ සිද්ධියේ බරපතල ප්‍රශ්න සහගත ස්වරූපය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ දැඩිව ප්‍රශ්න කර සිටියේය. එම අවස්ථාවේදී දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය නොමඟ යවන සුළු ප්‍රකාශ ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධව වෙනත් චිත්‍රයක් මැවීමට උත්සාහ කළ බවද පැමිණිලි පාර්ශ්වය සඳහන් කළේය.
අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය, සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි බව අවධාරණය කරමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු, නීතිඥ රජී වසන්ත වෙල්ගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණයට පෙනී සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නායකත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.
බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා පවසන පරිදි, සිද්ධියට අදාළව පැය එකහමාරක පමණ කාලයක් තුළ මියගිය පුද්ගලයා ගත කළ ස්ථාන සහ සම්බන්ධ වූ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණයක්ද සිදු කරමින් පවතී.
විශේෂයෙන් සැකසහිත කරුණු කිහිපයක් කෙරෙහි පොලිස් අවධානය යොමු වී තිබේ:
1. මියගිය පුද්ගලයා වැටී සිටි නිවසේ පදිංචි නීතිඥවරියගේ නිවසේ එදින රාත්‍රියේ සාදයක් පවත්වා තිබීම. එම සාදය පවත්වා ඇත්තේ නීතිඥවරියගේ සැමියා කටාර් රාජ්‍යයට පිටත්ව යාමට පෙර බව වාර්තා වේ.
2. මියගිය පුද්ගලයාගේ ත්‍රීරෝද රථය මාර්ගයේ නතර කර තිබූ ආකාරය. නීතිඥවරියගේ නිවස පිහිටා ඇත්තේ මාර්ගයෙන් ඇතුළට වන අතර, ත්‍රීරෝද රථය නතර කර තිබී ඇත්තේ මාර්ගය අයිනේය.
3. මියගිය පුද්ගලයාගේ සිරුරෙන් අසූචි පිටවී තිබූ බවද පොලිසිය වාර්තා කරයි.
"මගේ මහත්තයා කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ කෙනෙක්. මහත්තයාට වෙච්ච දේ මට දරාගන්න බැහැ. මහත්තයාට නිල් වෙන්න පහර දීලා තියෙනවා. මහත්තයාට කවුරුහරි පිරිසක් පහර දුන්නද කියලා මට සැකයි" යැයි මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය පවසයි.
මෙම මරණය ඝාතනයක්ද, දිවි නසා ගැනීමක්ද යන්න තීරණය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර ඇති අතර, ඒ සඳහා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් කුමාර වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.
මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, ඇයගේ සැක සංකා නිවැරදි කිරීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval