
වත්තල හැඳල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු තම නිවස තුළදී ගෙල සිඳ ඝාතනය කර තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මෙම ඝාතනය රන්භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් සිදු කර ඇති බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර ඇත.
පසුගිය පෙබරවාරි 27 වන දින උදෑසන 9.45 ට පමණ වත්තල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් හරහා මෙම සිද්ධිය වාර්තා වූ අතර, එම ඇමතුම ලබා දුන් පුද්ගලයා සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ නිවසක අධික දුර්ගන්ධයක් පවතින බවත්, එම නිවසෙහි අයිතිකරු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බවත්ය. මෙම සැකසහිත තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම ඇමතුම ලබා දුන් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් එම සැකසහිත නිවස ස්ථානීය පරීක්ෂාවකට ලක් කර ඇත. එම පරීක්ෂාවේදී නිවසේ හිමිකරු දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට මූලික සාක්ෂි අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මියගිය පුද්ගලයා විවාහක අයෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස වාර්තා වේ.
මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව රාගම රෝහල විසින් පසුගිය මාර්තු 1 වැනි දින වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කර තිබූ අතර,
එහි සඳහන්ව ඇත්තේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි. එමෙන්ම, එම පුද්ගලයා පසුගිය පෙබරවාරි 19 වන දින මියගොස් ඇති බවත්, පොලිසිය දැනුවත් වන තුරුම, එනම් පෙබරවාරි 27 වන දා දක්වා, මළ සිරුර ඒ ආකාරයෙන්ම නිවස තුළ තිබී ඇති බවත් තහවුරු වී තිබේ.
පොලිස් නිලධාරීන්ගේ සැකයට තුඩු දුන් පළමු කාරණාව වී ඇත්තේ මියගිය පුද්ගලයා ඔහු මියගොස් සිටි ඇඳ අසල තිබූ දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ ආකාරයෙන්ම ජීවිතක්ෂයට පත්ව තිබීමයි.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවසෙහි වූ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමට සූදානම් වුවද, ඒ වනවිටත් එම නිවසෙහි සවි කර තිබූ ආරක්ෂක කැමරා සහ DVR උපකරණය අස්ථානගත වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. මෙම තත්ත්වය පොලිසියේ සැකය තවදුරටත් වැඩි කිරීමට හේතු වී ඇත.
කෙසේ වෙතත්, පොලිසිය සිදුකළ තවදුරටත් විමර්ශනවලදී, මෙම නිවස ආවරණය වන පරිදි වෙනත් නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන මගින් ඉතා වැදගත් සාක්ෂි ලබාගැනීමට පොලිසිය සමත් වී තිබේ. එම දර්ශන මගින්, මරණය සිදු වූ බවට සැක කෙරෙන පෙබරවාරි 19 වැනි දින මෙම නිවසට පැමිණි ත්‍රීරෝද රථයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වී තිබේ.
ඉන්පසු, පොලිසිය එම ත්‍රීරෝද රථය හඳුනාගෙන එහි හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා විසින් කරපිංචා කැඩීම සඳහා මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති බවයි.
අනතුරුව, ත්‍රීරෝද රථ හිමිකරුගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ එදින ඔහු කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා එම නිවසට පැමිණි බවත්, සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ඔහු එම නිවසට කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා පැමිණෙන බවත්ය. නමුත් එදින ඔහු මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් ඇත්තේ ලහිරු නම් පුද්ගලයෙකුගේ දැනුම්දීම මත බවද ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත.
ත්‍රීරෝද රථ රියදුරුගේ ප්‍රකාශය මත, මීළඟ සැකකරු ලෙස ලහිරු නමැත්තා හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය උත්සාහ කළද, ඔහු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
පොලිසිය මියගිය පුද්ගලයාගේ සහ මෙම සැකකරුගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් අනතුරුව, දුරකතන වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පෙබරවාරි 19 වැනි දින රාත්‍රී 8 වන තෙක් ජීවතුන් අතර සිට ඇති බවයි. ඔහු එම අවස්ථාව දක්වාම වට්ස්ඇප් යෙදවුම තුළ සක්‍රීයව සිට ඇති බවටද සාක්ෂි ලැබී තිබේ.
සැකකාර ලහිරු නමැත්තා සොයා දීර්ඝ විමර්ශන සිදු කළ වත්තල පොලිසිය, එහි ප්‍රතිඵලයක් ලෙස මාර්තු 2 වන දින සවස 5.00 ට පමණ සැකකරු වත්තල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, ඔහු පාපොච්චාරණය කර ඇත්තේ රන්භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය තමා විසින් සිදු කළ බවයි. එමෙන්ම, සැකකරු විසින් නිවසෙහි සවිකර තිබූ ආරක්ෂක කැමරා (CCTV), DVR උපකරණය සහ මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයද කැළෑබද ප්‍රදේශයකට විසි කොට තිබෙන බව පාපොච්චාරණයේදී හෙළි වී තිබේ. සැකකරුගේ ප්‍රකාශ අනුව ගමන් කරමින්, පොලිස් නිලධාරීන් විසින් මෙම කොටස් සොයාගෙන ඇති බවද වාර්තා වේ.
22 හැවිරිදි මෙම සැකකරු, වත්තල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. ඔහු සහ මෙම මියගිය පුද්ගලයා අතර ටික කලක සිට සම්බන්ධතාවයක් තිබී ඇති අතර, ඔහුද කරපිංචා සහ පොල් කැඩීමට නිතර මෙම නිවසට පැමිණි බවට පොලිසියට ප්‍රකාශ කර තිබේ.
සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මනුෂ්‍ය ඝාතනයක් සිදුකර දේපළ සොරාකෑම, අපරාධයක් වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මාර්තු 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන දිගටම ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval