mol-kasun-involved-in-several-murders-arrested-in-homagama

අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිනීමැරුම් රැසකට සම්බන්ධ වී ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන 'මෝල් කසුන්' නැමැත්තා ශ්‍රී ලංකාවට පැමිණ සැඟව සිටියදී බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් හෝමාගම ගලවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.



පොලිසිය සඳහන් කරන පරිදි, අද දින (18) සිදු කරන ලද වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 5,000 ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරුවකු බව පොලිසිය තහවුරු කර ඇත.

මෙම සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකළ ප්‍රධාන අපරාධ ගණනාවකට සම්බන්ධ වී ඇති අතර, එම සිදුවීම් අතර ප්‍රධාන වන්නේ:

1. 2023 වර්ෂයේ මැයි මස 12 වැනි දින අවිස්සාවේල්ල තල්දූව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීම.

2. 2023 වර්ෂයේ මැයි මස 26 වැනි දින තල්දූව දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම.

3. 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වැනි දින අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්විලදී යතුරුපැදියකින් ගොස් තිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට T-56 ගිනි අවියකින් වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම හා තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීම.

මෙම අපරාධ සිදු කිරීමෙන් පසු සැකකරු ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි අතර, ශ්‍රී ලංකාවට නැවත පැමිණ රහසිගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.


පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සැකකරු අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව බියට පත් කරමින් නීති විරෝධී ක්‍රියා රාශියක නිරත වී ඇති බවයි. එම සැකකරු විසින් සිදු කරන ලද අපරාධවල සාරාංශය ලෙස, මනුෂ්‍ය ඝාතන 4ක් හා පුද්ගලයින් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිරීම සඳහන් කළ හැකිය.

බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද මෙම වැටලීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලියේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර, පොලිසිය විසින් මෙවැනි අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යාම ජනතාවගේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් යැයි පැවසිය හැකිය.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානමින් සිටී.