We had to defend the state through the Batalanda - Ranil is told on Al Jazeera

ලන්ඩනයේ කොන්වේ හෝල් හිදී පැවති "අල් ජසීරා හෙඩ් ටු හෙඩ්" වැඩසටහනේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, පාස්කු ප්‍රහාරය සහ සිවිල් යුද්ධය පිළිබඳව ප්‍රශ්න රැසකට පිළිතුරු දුන්නේය.
මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ එම් හසන් විසින් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය, රාජපක්ෂවරුන් සමඟ ඔහුගේ සබඳතා, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ඔහුගේ වගකීම සහ සිවිල් යුද්ධයේ විපාක සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී.

2022 දී ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන් කාලයේ රාජපක්ෂ රාජවංශය බලයෙන් පහ කිරීමට ජනතාව වීදි බැස්සේය.නමුත් ඔහු රාජපක්ෂවරුන් ආරක්ෂා කරමින් ජනපති පුටුවට ගියේය. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූ පසු ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ අතර, IMF ණය ලබා ගැනීම සහ උද්ධමනය 70% සිට 1.3% දක්වා අඩු කිරීමට සමත් විය. නමුත් 2023 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී ඔහු තුන්වන ස්ථානයට පත් විය.

ඔහුගේ පරාජය සම්බන්ධයෙන් විමසූ විට, වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය දුෂ්කර පියවර ගැනීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. "වසර දෙකක් තුළ ආර්ථිකය නැවත නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහා මට උද්ධමනය අඩු කිරීමට සිදු වුණා. වසර දෙකක් තුළ එය කිරීම ඉතා අපහසුයි," යැයි ඔහු පැවසීය.

හසන් විසින් වික්‍රමසිංහ මහතා "ස්ථාපිත පුද්ගලයකු" ලෙස හැඳින්වූ අතර, 1977 සිට ඔහු අධ්‍යාපන, තරුණ කටයුතු, රැකියා, විදේශ කටයුතු, මුදල් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුර දරා ඇති බව පෙන්වා දුන්නේය. ජනතා විරෝධතාකරුවන්ට සවන් දීමට අවස්ථාව තිබියදී, වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූ පැය කිහිපයක් තුළ හමුදාව කැඳවා විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස මැදිහත් වන ලෙස නියෝග කළ බවට චෝදනා කළේය.

වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින්, "පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු පත් කළ විට, ඒ මම හෝ මගේ ප්‍රතිවාදියා වුවත්, නීතිය හා සාමය පිළිබඳව කටයුතු කළ යුතුයි," යැයි පැවසීය. එසේම, "කල්ලියක් පාර්ලිමේන්තුවට පැමිණ එය අත්පත් කර ගන්නා විට, එය ප්‍රජාතන්ත්‍රවාදයද?" යැයි රනිල් විමසීය.

වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ට එරෙහිව කටයුතු කර ඇති බව පැවසූ නමුත්, හසන් විසින් ඔහු 2023 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂගේ උපන්දින සාදයක සහභාගී වී ඇති දර්ශන පෙන්නුම් කළේය. වික්‍රමසිංහ මහතා පැවසුවේ රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ ඒකක ස්ථාපිත කළ බවත්, ගෝඨාභය, බැසිල්, නාමල් සහ යෝෂිත රාජපක්ෂ නඩු විභාගයට ලක් වූ බවත්ය.

නමුත් ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන විමසූ විට, ඔහු පැවසුවේ "සාක්ෂි සොයා ගැනීමට ඔවුන්ට සිදු වූ බවත්, නඩු පැවරීම තීරණය කරන්නේ අධිකරණය බවත්ය." උපන්දින සාදයට සහභාගී වීම සම්බන්ධයෙන්, "අපි සාමානයයෙන් අපි සමාජ කටයුතු, මංගල උත්සව, අවමංගල්‍ය ආදියට සහභාගී වෙනවා," යැයි ඔහු පැවසීය.

2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ වගකීම ගැන විමසන ලදී. එම ප්‍රහාරයෙන් 260කට වැඩි පිරිසක් මිය ගොස්, 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඉන්දියානු බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් ලබා දී තිබුණද, වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඔහු "ඒ තොරතුරු නොලැබුණු බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සබඳතා අඩු වී තිබූ බවත්ය."

ජනාධිපති කොමිසම විසින් සකස් කළ වාර්තාවේ "ප්‍රහාරය වැළැක්වීමට රජය, ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ යන දෙදෙනාම වගකිව යුතු බව" සඳහන් කර ඇත. කෙසේ වෙතත්, වික්‍රමසිංහ මහතා පවසන්නේ "ශ්‍රේෂ්ඨාධිකරණය මා නිදොස් කොට ඇති බවත්, ජාතික සංහිඳියාව ජාතික ආරක්ෂාවට වඩා ඉදිරියට ගෙන ගිය බවට ඇතැමුන් චෝදනා කරන බවත්ය."

2023 දී චැනල් 4 විසින් සිදු කළ පරීක්ෂණයකදී, ගෝඨාභය රාජපක්ෂට හිතවත් හිටපු නිලධාරීන් පාස්කු ප්‍රහාරකයින් සමඟ සම්බන්ධ වී ඇති බවට චෝදනා කළ නමුත්, වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එම චෝදනා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානියා පවසා ඇත්තේ "ඉස්ලාමීය අන්තවාදීන්" ප්‍රහාරය සිදු කළ බව හා ඔවුන් පිටුපස වෙනත් බලවේග සිටි බවත්, වික්‍රමසිංහ රජය ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවත්ය."

සාකච්ඡාවේ දෙවන කොටසේදී සිවිල් යුද්ධය සහ එහි විපාක සම්බන්ධයෙන් විමසන ලදී. වසර 26ක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් 100,000කට අධික පිරිසක් මිය ගිය බව ඇස්තමේන්තු කර ඇත. 2002 දී එල්ටීටීඊ සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමට වික්‍රමසිංහ මහතා උත්සාහ කළද, පසුව යුද්ධය උත්සන්න විය.

යුද්ධයේ වින්දිතයින්ට යුක්තිය ඉටු වී තිබේද යන්න විමසූ විට, වික්‍රමසිංහ මහතා "no contest" (තරඟ නොකරමි) යැයි ප්‍රකාශ කළේය. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිහිටුවන ලද ආයතනය මගින් සොයා ගන්නා ලද පුද්ගලයින් ගණන ගැන විමසූ විට, "තවමත් පරීක්ෂණ සිදු වෙමින් පවතින බවත්, 6,000ක් අතුරින් 16ක් පමණක් සොයා ගෙන ඇති බවත්" ඔහු පිළිගත්තේය.

ෂවේන්ද්‍ර සිල්වා වැනි යුද අපරාධ චෝදනා ලැබූ පුද්ගලයින් තවමත් ආරක්ෂක හමුදාවේ ඉහළ තනතුරුවල තබා ගැනීම ගැන විමසූ විට, ඔහු පැවසුවේ "ජනරාල් සිල්වා ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්, ඇමරිකානුවන් විසින් ඔහු අසාදු ලේඛනගත කළද, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කළ නොහැකි බවත්ය."

උතුරේ සහ නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම් සහ හමුදා මැදිහත්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට, වික්‍රමසිංහ මහතා පැවසුවේ "බී සහ සී වැනි පද්ධතිවල ඉඩම් දෙමළ සහ මුස්ලිම් ජනතාවට ලබා දිය යුතු බවත්, සිංහල ජනතාවට ලබා දී ඇත්තේ සී පද්ධතිය පමණක් බවත්ය."

අවසානයේදී, ඔහු නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමට අදහසක් තිබේද යන්න විමසූ විට, "මෙවර තරඟ කිරීමට සැලසුමක් තිබුණේ නැහැ, රටට අවස්ථාවක් ලබා දීමට මම ජනාධිපති වුණා. මා කළ දේ එයයි," යැයි පැවසීය.

සම්මුඛ සාකච්ඡාව අතරතුර, මෙහිදි හසන් විශේෂයෙන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් තියුණු ප්‍රශ්න ඉදිරිපත් කළේය.
"ඔබට වධකාගාර ගැන දැනුමක් තිබුණාද නැද්ද?" යන ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේ "ඒක කැලඹිලි සහිත කාලයක්. මම පාලනය කෙරෙහි අවධානය යොමුකළා. අපට රාජ්‍යය ආරක්ෂා කිරීමට සිදුවුණා" යනුවෙනි.
සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා යම් අවස්ථාවක ආවේගශීලීව "මට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේක යූටියුබ් වැඩසටහනක්ද?" යනුවෙන් ප්‍රශ්න කළේය.
මෙයට මෙහිදි හසන් පිළිතුරු දුන්නේ "නැහැ වික්‍රමසිංහ මහත්මයා, මේක ගෝලීය වේදිකාවක්. ඔබට වගවීමෙන් ඉවත් විය නොහැකියි" යනුවෙනි.