1000-smart-boards-brought-to-schools-have-been-decaying-in-patthalageda-for-a-year

පාසල් සඳහා ලබා දීමට චීනයෙන් ගෙන්වන ලද සුහුරු පුවරු (ස්මාර්ට් බෝර්ඩ්ස්) 1,000ක් වසරකට ආසන්න කාලයක් තිස්සේ පත්තලගෙදර ගබඩාවක දිරාපත් වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෞශල්‍යා ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී හෙළි කළාය.


මන්ත්‍රීවරිය සඳහන් කළේ මෙම අධ්‍යාපනික උපකරණ 2024 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට චීනයෙන් ලැබී ඇති බවත්, මෙම පහසුකම් ලබාදීම සඳහා රජය රුපියල් බිලියන 1.5ක විශාල මුදලක් වෙන් කළ බවත්ය.

ආරියරත්න මන්ත්‍රීවරිය තවදුරටත් පැවසුවේ, එම සුහුරු පුවරු ලැබුණද, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබාගැනීමේ නිසි ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් මෙම උපකරණ දිරාපත් වෙමින් පවතින බවයි.

"මෙම නාස්තියට ලක්වූ අධ්‍යාපනික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව මේ වනවිට නව රජය ලෙස සාකච්ඡා කරමින් සිටිනවා," යැයි ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මීට අමතරව, පාසල්වල ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඇති බවටද හෙළිදරව් වී ඇති බවත්, මේ පිළිබඳවද ඉදිරි කාලයේදී සාකච්ඡා කර අවශ්‍ය තීරණවලට එළැඹෙන බවත් කෞශල්‍යා ආරියරත්න මන්ත්‍රීවරිය සඳහන් කළාය.


රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් නාස්තිය පිළිබඳව මෙම හෙළිදරව්ව සිදු වී ඇත්තේ නව රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින අවස්ථාවකය.