
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අද (04) පස්වරුවේ අත්හිටුවීමට තීරණය කර ඇත. සිය වැටුප් වර්ධක සම්බන්ධයෙන් පවතින ගැටලු වලට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා නිසි පියවර නොගන්නේ නම් හෙට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අද තීරණය කළ බව එම සංගමය සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අද දහවල් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය කල්තබන්නට. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා අපි මෙම තීරණය අත්හිටුවා තිබෙනවා."
සිය වැටුප් වර්ධක සඳහා නිසි විසඳුම් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දහවල් තම සංගමය සමග පැවති සාකච්ඡාවේදී පොරොන්දු වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම මස 21 වැනිදා අය වැය තෙවැනි වර කියවීම සම්මත කරගන්නා දිනය දක්වා සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවද සඳහන් කරයි.
එහෙත්, වෛද්‍යවරු වර්ජනය නතර කළත් දීමනා කප්පාදුවට එරෙහිව පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවකයින් අනිවාර්යයෙන්ම අනිද්දා (06) පෙරවරු 8.00 සිට එක්දින සංකේත වර්ජනයේ නිරතවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා චෝදනා කරන්නේ සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරුන්ට එක හැන්දෙකුනුත් සෞඛ්‍ය සේවාවේ සෙසු සේවකයින්ට තවත් හැන්දකින් බෙදමින් සිටින බවයි. සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන සේවක පිරිසගේ ප්‍රශ්න වලට තාම විසඳුම් දී නැති බවත් එනිසා පෙර තීරණය කළ පරිද්දෙන් අනිද්දා (06) එක් දින වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අවධාරණය කරයි.
අද (4) පාර්ලිමේන්තුවේදී කථා කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. වෛද්‍යවරුන් පිරිසක් පස් වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කර පසුව හත් වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වී තිබුණ පසුබිමක ඔහු මෙසේ කීය.
මෙම තත්ත්වය යටතේ, වෛද්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මගින් විසඳුම් සොයාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බවත්, රටේ වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval