
කතරගම නීලකාරාම පන්සල ඉදිරිපිටින් ගලා බසින මැණික් ගඟ හරහා ඉදිකර ඇති යකඩ පාලම අසලදී වන්දනාවේ පැමිණි වෑන් රථයක් ගඟට පෙරළී ඇති අතර, ප්‍රදේශවාසී තරුණයෙකුගේ වීරෝදාර ක්‍රියාව නිසා වාහනයේ සිටි පුද්ගලයන් සියලු දෙනා බේරාගෙන ගොඩට ගෙන ඒමට හැකි වී තිබේ.
මීගමුව ප්‍රදේශයේ සිට කතරගම පැමිණ කිරිවෙහෙර සහ දේවාලය වැඳ පුදාගෙන පසුගිය 01 වන දින රාත්‍රී 10.00ට පමණ ලැගුම් හල වෙත ගමන් කරමින් සිටියදී, නීලකාරාම පන්සල ඉදිරිපිට ඇති පාලම අසලින් ඔවුන් පැමිණි ශෙන්නා වර්ගයේ වෑන් රථය තුළ සිටි හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සමඟ මැණික් ගඟට වැටුණු බව එහි රියැදුරු ප්‍රකාශ කර ඇත.
කිරිවෙහෙර වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය බැතිමතුන්ට පිවිසීම සඳහා මීට වසර කිහිපයකට පෙර ඉදිකරන ලද මෙම යකඩ පාලමෙන් දිනකට විශාල වාහන සංඛ්‍යාවක් විශේෂයෙන් නිවාඩු දිනවල ගමන් කරන බවත්, මේ වන තෙක් මෙවැනි අනතුරක් සිදු නොවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
ජීවිත හතක් බේරාගත් කතරගම ගාමිණී පුර පදිංචි ඉන්ද්‍රජිත් මහතා සිද්ධිය ගැන විස්තර කරමින් මෙසේ පැවසීය: "මෙම වෑන් රථය ගඟ තුළට වැටුණු පසු පිරිසක් කෑ ගසනු ඇසී මම ඒ දෙසට දුවගෙන ගියා.
ඒ වෙලාවෙ තමයි මම දැක්කේ වාහනයක් ගඟ තුළට වැටිලා පෙරළී තිබූ වාහනේ වීදුරු වලින් ඔළුව දාලා පිරිසක් කෑ ගහනවා. ඒ අවස්ථාවේදීම පාලමේ උඩ සිට මම ගඟට පැන්නා. පැනලා මුලින්ම බේරා ගත්තේ එතැන හිටපු කුඩා ළමයින් තුන්දෙනා, ඔවුන් ගොඩට ගෙන ඇවිත් තියලා එතැන හිටපු වයසක ආච්චිව ඊළඟට ගිහින් බේරා ගෙන ගොඩට ගෙනාවා. ඉන්පසු තවත් ගෑනු කෙනෙක් සහ පිරිමි දෙදෙනකු හිටියා ඔවුනුත් බේරගෙන ගොඩට ගෙනැවිත් වාහනය වතුරේ ගසාගෙන යෑමට ඉඩ තිබෙන නිසා කඹයක් ගෙනැවිත් වාහනේ ගැටගසා ඉවුරේ තිබුණු ගසක ගැට ගැසුවා."
ඉන්ද්‍රජිත් මහතා තවදුරටත් පැවසුවේ, "ගඟට පනින අවස්ථාවේදී මගේ කකුලේ දණහිස ගඟේ තිබූ ගලක වැදිලා මොවුන් සේරම බේරා ගත් පසු තමයි මට එහි වේදනාව දැනුණේ. දැන් නම් මට ඇවිදින්නත් අමාරුයි" යනුවෙනි.
සිද්ධිය වූ අවස්ථාවේ පැමිණි කතරගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ එම අවස්ථාවේදී පවත්වා ඇති අතර, අනතුරට පත් වාහනය බූම් ට්‍රක් රථයක් ආධාරයෙන් ගොඩට ගැනීමට කටයුතු කරන බව පවසා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඉන්ද්‍රජිත් මහතාගේ නිර්භීත ක්‍රියාව අතිශයින්ම අගය කරන අතර, එවැනි තත්වයක් තුළ තම ජීවිතය පවා පරදුවට තබා අන් අයගේ ජීවිත බේරා ගැනීමට ඔහු පෙන්වූ කැපවීම සහ ධෛර්යය ඉතා ඉහළින් අගය කරන බව පවසති.

Comments
Post a Comment
Your comment will be visible after approval