prasanna-ranaweera-involved-in-mervyns-land-scam-has-turned-his-phone-off-and-is-hiding

රජයට අයත් ඉඩමක් හොර ඔප්පු සකස් කර විකිණීමේ චෝදනාවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර මහතාගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇති නමුත්, ඔහු එහි සිට නොමැති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි. වාර්තාවලට අනුව ඔහු නිවසින් පලා ගොස් ඇති අතර, දැනට ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර ඇති බව පැවසේ.


මෙම සිද්ධියට අදාළව පසුගිය මාර්තු 5 වන දින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහර මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය විසින් එම සැකකරුවන් මාර්තු 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග අනුව, ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇත. එම අවස්ථාවේදී නිවසේ සිටි රණවීර මහතාගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිසිය, අනතුරුව ඔහුගේ රියදුරුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පැවසේ.

මෙම අපරාධය 2010 වර්ෂයේ සිදුව ඇති අතර, රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාළව කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු,
ව්‍යාපාරිකයකු සහ නීතිඥයකු ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මේ සඳහා රහස් පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් උසස් නිලධාරියකු සඳහන් කරයි.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය මාර්තු 5 වන දින රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක කඩ කාමර ඉදිකර ඒවාට කූඨ ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම සිද්ධියට අදාළව ප්‍රසන්න රණවීර මහතා සහ මර්වින් සිල්වා මහතාගේ පුද්ගලික ලේකම්වරයා වූ සිංගප්පූරු සරත් නමැත්තා ද අත්අඩංගුවට ගැනීමට නියමිත වුවද, මේ වන විට ඔවුන් දෙදෙනාම සැඟවී සිටින බවයි.