the-school-bus-that-killed-the-grandfather-was-caught-on-cctv

ජා-ඇළ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් බස් රථයක හැපුණ වයෝවෘද්ධ පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, අනතුරෙන් පසු පලා ගිය බස් රථය සහ එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන ආකාරයට, මෙම අනතුර සිදු වී ඇත්තේ පසුගිය 03 වැනි දින සවස 6.30 පමණ ජා-ඇළ පොලිස් බල ප්‍රදේශයේ කපාලකන්ද රෝයල් පාර්ක් මාර්ගයේදීය. එහිදී අවුරුදු 65ක පමණ වයසැති පුද්ගලයෙක් පාසල් බස් රථයේ හැපී හිසට බරපතල තුවාල ලබා මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා රතු ඉරි සහිත කමිසයක් සහ සරමක් හැඳ සිටි බව වාර්තා වන නමුත්,

මේ වන තෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය සමත් වී නොමැත. මියගිය පුද්ගලයාගේ මෘත දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව පොලිසිය පවසයි.

අනතුරෙන් පසු පලා ගිය පාසල් බස් රථය සහ එහි රියදුරු CCTV දර්ශන ආධාරයෙන් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඉදිරියේදී වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජා-ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. අරුලානන්දම් මහතාගේ මෙහෙයවීම යටතේ, පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් බස්නායක මහතා සහ පොලිස් සැරයන්වරුන් වන විජේසිංහ (34034) සහ එස්.ඒ.ඩී. කෝසල (34207) යන නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.