
නුවරඑළිය පීඩෘ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පක්ෂ ආධාරකරුවන් 9 දෙනෙකු අද (03) දින රුපියල් පනස්දහස බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනි ප්‍රබුද්ධිකා මෙනවිය නියෝග කළාය.
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නොතීසි අනුව අද දින අධිකරණයට පැමිණි සැකකරුවන් මුදා හැරීමෙන් පසු මෙම නඩුව යළිත් ජූනි මස 09 වන දින කැඳවීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ජීවන් තොණ්ඩමන් අමාත්‍ය ධූරය දරන සමයේ නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණි.
ඒ, එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඊට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයකද නිරත විය.
චෝදනාවට අනුව, සැකකරුවන් පසුගිය වසරේ නුවරඑළිය පීඩෘ වතුයායට අනවසරයෙන් පිවිස, එම වතුයායේ වතු අධිකාරිවරයා ඇතුළු පාලන අධිකාරි නිලධාරීන් කිහිප දෙනෙකු තේ කර්මාන්ත ශාලාව තුළ රඳවාගෙන,
තේ කර්මාන්තශාලාවේ සේවකයින් පලවා හැර ඇති බව කියැවෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ වතුයාය අයත් වතු සමාගම විසින් නුවරඑළිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
නඩු විභාගය තවදුරටත් සිදු කෙරෙන අතර, මෙම නඩුව ජූනි මාසයේදී නැවත අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval