කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වයස අවුරුදු 46ක් වූ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා අද (19) උදෑසන සිදු වූ රිය අනතුරකින් හදිසියේ මිය ගොස් ඇති බව වාර්තා වේ. පවුලේ සාමාජිකයන් සමඟ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙන අතරතුර මීරිගම ප්‍රදේශයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.

කුරුණෑගල දෙසින් මීරිගම දෙසට ධාවනය කරමින් රියදුරෙකු පැදවූ  වෑන් රථය ඔහුට පාලනය කර ගැනීමට නොහැකිව, එම දිශාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී ඇත.එහි ගමන් ගත් ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා සියලු දෙනාම මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මිය ගොස් ඇත. වාර්තාවන අන්දමට ආචාර්ය ගයන්ත ගමන් කර ඇත්තේ ඉදිරිපස රියදුරුට වම් පස ආසනයේය.
ආචාර්ය ගයන්ත මහතා කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල දෙකෙහිම සිසුන් අතර ඉතා ජනප්‍රිය හා ගෞරවයට පාත්‍ර වූ ආචාර්යවරයෙක් ලෙස ප්‍රකට වූ අතර, විශේෂයෙන්ම ඔහුගේ නිහතමානී ස්වභාවය, මානුෂීය ආකල්ප හා ශිෂ්‍යයන් සමඟ පැවැත්වූ මිත්‍රශීලී සම්බන්ධතාවය නිසා බොහෝ දෙනාගේ හදවත් තුළ සුවිශේෂී තැනක් දිනාගෙන තිබිණි. ආචාර්ය ගයන්ත මකොල ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහු තිදරු පියෙකු වන අතර එම තිදෙනාම දෙහැවිරිදි තුන් නිවුන් දරුවන් වීම විශේෂිතය.



ආචාර්ය ගයන්ත මහතා දකුණු පළාතේ බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලැබූ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන ඇත. පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ද සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝ චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව ද ලබා ගෙන තිබේ.

මුලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර, පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගෙන ගිය ඔහු
 අවසාන කාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව, ආචාර්ය ගයන්ත මහතා 'ප්‍රේරණාත්මක කථිකයෙකු' ලෙස ද, උපදේශන මනෝවිද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස ද ක්‍රියා කර ඇත.


ආචාර්ය ගයන්ත මහතාගේ අභාවය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ හිටපු ශිෂ්‍යයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතකයන් අවදි කරමින් ශෝක පණිවුඩ පළ කර ඇත. ඒ අනුව, ඔහු හුදෙක් දේශකවරයෙකුට වඩා ඔබ්බට ගිය මානුෂීය හදවතක් තිබූ ආදරණීය ගුරුවරයෙකු ලෙස බොහෝ දෙනා විසින් සිහිපත් කරනු ලැබේ.

"දේශන වලට එනකොට හරිම සරල හිනාවකින් විහිළුවක් කරගෙන ඇතුළට ඇවිත් දේශනය ඉවර වෙනකම්ම අපිට යාළුවෙක් වගේ හිතවත්ව උගන්නපු ඔබේ ඒ සරල හිනාව ජයවර්ධනපුර සරසවියේවත්, කැළණිය හෝ ඔබ ඉගැන්වූ වෙනත් කිසිදු ආයතනයක සිසුන්ට නැවත විදින්නට නොලැබීම මහත් දුකකි," යනුවෙන් හිටපු ශිෂ්‍යයෙක් පවසයි.

තවත් සිසුවෙක් පවසන්නේ, විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී වසර ගණනක් ගත වී තිබුණ ද, තමන්ගේ සමාජ මාධ්‍ය පළ කිරීම් හා උපන් දින සුබ පැතුම් වලට සැමවිටම ප්‍රතිචාර දැක්වූ ප්‍රියශීලී ගුරුවරයෙකු ලෙස ඔහු සිහිපත් කරන බවයි.


තවත් ශිෂ්‍යයෙක් මෙසේ අදහස් දක්වයි: "අසාමාන්‍ය මනෝවිද්‍යාව විෂයය ඉගැන්නුවේ අපේ සර්. පුදුම නිහතමානී, මනුසත් ගුණදම් පිරුණු, දක්ෂ ආචාර්යවරයෙක්. ගිය ඉරිදා අන්තිමට අපි විභාගයට ලිව්වෙ සර්ගෙ ප්‍රශ්නපත්‍රය. මේ සිදුවීම තාමත් හීනයක් වගෙ යි. ගොඩාක් හොඳ මිනිසුන්ට ඉක්මනින් ම යන්න වෙන එක පුදුමයක්.."

ආචාර්ය ගයන්ත මහතා විශේෂයෙන්ම ළමුන් කෙරෙහි විශේෂ ආදරයක් දැක්වූ බව තවත් හිටපු ශිෂ්‍යයෙක් මෙසේ සිහිපත් කරයි: "මට මතකයි ඔයා හැමදාම හම්බුනාම මට කියන දෙයක්. 'සර් අපිට ළමයි ආදරේ නේද?' ළමයින්ගෙ විතරක් නෙමෙයි ඔයා අපෙත් ආදරණීය සහෝදරයෙක්!"

විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් ලද තොරතුරු අනුව, ආචාර්ය ගයන්ත මහතා පවුලේ සාමාජිකයන් සමඟ යාපනයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර, එයින් ආපසු පැමිණෙන අතරතුර මීරිගම ප්‍රදේශයේදී මෙම හදිසි රිය අනතුර සිදු වී ඇත. අනතුර පිළිබඳ වැඩිදුර විස්තර මේ වන විට වාර්තා වී නොමැත.

එක් හිටපු ශිෂ්‍යයෙක් සිය ශෝක පණිවුඩයේ සඳහන් කරන්නේ, "ඉතිං ආදරණීය ගයන්ත සර්, අවසානයේ ඔබ අපට ජීවිතයේ යථාර්ථය ඉතාමත් ගැඹුරින් අවබෝධ කර දී මේ ජීවිතයෙන් නික්ම ගොස් ඇත. අපට දරාගත නොහැකි වුවත් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!! මෙවන් අකල් මරණයක් යළි කිසිදු භවයක සිදු නොවේවා!!" යනුවෙනි.

ආචාර්ය ගයන්ත මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු මේ වන විට නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, කැලණිය විශ්වවිද්‍යාලය මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද ඔහුට අවසාන ගෞරවය දැක්වීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.