lahiru-who-misled-the-police-by-saying-i-know-where-sevwandi-is-give-me-12-million-arrested

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ළහිරු සම්පත් නැමැති පෙදරේරු වෘත්තියෙහි නිරත සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.
'මං සෙව්වන්දි ඉන්න තැන දන්නවා ඔන්න ඕගොල්ලො ඔක්කොම මං කියන තැනට එන්න. මට ලක්ෂ 12 ගන්න පුළුවන් නේද?' කියමින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබේ.

ඔහු කියූ තැන ඉෂාරා සෙව්වන්දි නොසිටි බවත් ඒ සමාන හැඩරුව ඇති වෙනත් කාන්තාවක සිටි බවත් පවසන පොලිසිය මේ තුළින් අන් අය අපහසුතාවයට ලක්කරන්නට හා පොලිසියේ කාලය හා ශ්‍රමය අපතේ යවන්නට ඔහු උත්සාහ කළ බව කියා තිබේ.බොරුවක් පැවසුවේ ඇයිදැයි විමසීමේදී මං හිතුවේ ඒ එයාම තමයි කියල.. දැනුයි දන්නෙ වෙන කෙනෙක් කියලා.. යයි පිළිතුරු සපයා තිබේ.ආරංචි මාර්ග පවසන්නේ කිසියම් කෙනෙකුට කළ විහිළුවක් ලෙස මෙම ඔත්තුව පොලිසියට සපයා ඇති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.