
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 178ක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස පොලිස් ස්ථානාධිපති තනතුරු දෙකක් එකම පවුලකට ලැබීමේ අපූර්ව පුවතක් වාර්තා වී තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ඒ. ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය පින්දෙණිය පොලීසියේ නව ස්ථානාධිපතිනිය ලෙස මාර්තු 11 වන දින වැඩ භාර ගත් අතර, ඇගේ සැමියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේටි මහතා දැනට කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරයි.
ලංකාවේ සිව්වැනි පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත්, සබරගමුව පළාතේ පොලිස් ස්ථානයක ප්‍රථම කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් වාර්තා වන මෙම පත්වීම, ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණු ඉකුත් මාර්තු 8 වැනිදා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදු කරන ලදී. අප්සරා මහත්මිය මාර්තු 11 වන දින පෙරවරුවේ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව සුබ මොහොතින් පින්දෙණිය පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිනිය ලෙස වැඩ භාර ගත්තාය.cමෙම උත්සවයට ගරුතර මහා සංඝරත්නයද සහභාගි වූහ.
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර සහ ප්‍රධාන පොලිස් පරික්ෂක එල්මෝ මැල්කම් පේටි ගේ දරුවන් දෙදෙනා වන්නේ හිමංක ස්ටේපොන් පේටි (23) පුතා හා නිකෙතා ඉයුනි පේටි (16) දියණියයි.
32 වැනි පින්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස පත්වූ අප්සරා මහත්මිය, ග්‍රාම සේවා වසම් 26 ක 35,153 කට ආසන්න ජනතාවකගේ ආරක්ෂාව භාර ගැනීමේ වගකීම දරයි.
අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය 1996 අප්‍රේල් 16 වැනි දා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට උප පොලිස් පරීක්ෂකවරියකු ලෙස සේවයට බැඳී, යාපනය වවුනියාව ආදී ප්‍රදේශවල ක්‍රියාත්විත රාජකාරිවල නිරතව සිට 2001 වසරේ කැලණිය කොට්ඨාසය වෙත රාජකාරී වාර්තා කළාය. 2004 වසරේදී කෑගල්ල කොට්ඨාසය වෙත රාජකාරී වාර්තාකර ඇති අතර, 2010 වසරේදී පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් වීම් ලබා කොට්ඨාසා ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස පත්ව සිටියාය.
ඇය 2016 වසරේදී කෑගල්ල දිසාවේ දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති තනතුරට පත්ව, 2018 වසරේදි "ජනපතිට කියන්න" විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙසද කටයුතු කර ඇත. 2020 වසරේ සිට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිට,
2022 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබා ඇත.
අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය කාලයේ වැලිතලාවෙන් වැලලීමට ගිය ආන්දෝලාත්මක මනුෂ්‍ය ඝාතන මෙන්ම අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගනිමින් ඊට වගකිව යුත්තන් නීතියේ රැහැනට හසු කරගැනීමට මග පෙන්වීමේ නියමුවා ලෙස කටයුතු කර ඇත. වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරමින් පොලිස් දෙපාර්තමේන්තුව යන නම රන් අකුරින් බැබලවූ නිලධාරිනියක් ලෙස හැඳින්වේ.
ඇය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව දිවයිනේ දරුණු මිනීමැරුම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඇති දක්ෂ නිලධාරිනියකි. කෑගල්ල හෙට්ටිමුල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරුගේ ඝාතකයන්ද දින කිහිපයකදී අත්අඩංගුවට ගත් නිලධාරිනියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
නව පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ භාර ගැනීමෙන් පසු අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය: "අපේ රටේ නොමග ගිය දරුවන් යහමගට ගෙන දරුවන්ට හොඳ අනාගතයක් උදාකර දීමේ ආශිර්වාදය මට ලැබිලා තියෙනවා. අදින් ආරම්භ වන නව රාජකාරියෙනුනුත් ප්‍රදේශයට, ගමට මෙන්ම රටට හැකි උපරිම සේවයක් කිරීමට ඉදිරි කාලයේදීත් මා කළ හොඳ දේ ආශිර්වාදයක් වන බව මට විශ්වාසයි."
ඇය වැඩිදුරටත් පැවසුවේ: "32 වැනි පින්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස මෙම අසුනේ අසුන් ගන්නා මගේ මහත්තයත් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනවා. අපි දෙදෙනාම රාජකාරියයි පවුල් ජීවිතයයි පටලවා නොගෙන යහපත් සිහියකින් කටයුතු කරනවා."
"අද සමාජයේ තරුණ දූ පුතුන් ගැන අහන්න දකින්න දේවල් දිහා බැලුවහම අපේ දරු දෙන්න ගැන අපිට කිසිදු බයක් නෑ. පොලිස් සේවාව කියන්නේ මෙලොවදී පින්කම් රැසක් කරගන්න පුළුවන් සේවාවක්. සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයන්ට හැකි හා උපරිමයෙන්ම යහමග පෙන්නලා දුන්නොත් ඒ ආශිර්වාදයේ නිතැතින්ම අපිට වගේම විශේෂයෙන් අපේ දරුවන්ටත් ලැබෙනවා. ඒ ගැන මට දැඩි විශ්වාසයක් තියෙනවා," යයි ඇය සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval