suspicion-that-sewwandi-has-run-to-india

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේදී පාතාල ලෝකයේ ප්‍රසිද්ධ අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරට සිට මෙහෙයවූ බවට සැක කරන පිංපුර දේවගේ ඉෂාර සෙව්වන්දි නමැති තරුණිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.





පොලිස් තොරතුරු අනුව, මෙරටින් පලායාමට ඇති සෑම මාර්ගයක්ම අවහිර කර ඇතත්, යම් හිඩැසකින් බෝට්ටුවක් මගින් අසල්වැසි ඉන්දියාවට පලායාමේ හැකියාව සැලකිල්ලට ගෙන, සැකකාරිය කොටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ඇගේ ඡායාරූප ඇතුළු අවශ්‍ය තොරතුරු ඉන්දියානු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇත.

උසස් පොලිස් නිලධාරියකු විසින් වැඩිදුරටත් අනාවරණය කළේ, මෙරටට අවශ්‍ය අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටීනම්, ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත්, එලෙස මීට පෙර ද බොහෝ අපරාධකරුවන් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දී ඇති බවත්ය.

කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇති බවට හෝ මෙරටින් පලා ගොස් ඇති බවට තොරතුරු තහවුරු වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි. ඇය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, ඇය ආශ්‍රය කළ පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානයකින් සොයා බැලීම් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.