
මගීන් සිව් දෙනෙකුගේ ජීවිත බිලිගනිමින්, තිස්තුන් දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයායේදී ඊයේ (9) අලුයම සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලින් තීරණාත්මක කරුණු රැසක් අනාවරණය වී තිබේ.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය පැයට කිලෝමීටර 90කට වැඩි වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් රියදුරුට එය පාලනය කරගැනීමට නොහැකි වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. විශේෂයෙන්ම අනතුර සිදුවන මොහොතේ රියදුරු ජංගම දුරකථන ඇමතුමක නිරත වී සිටි බව බස් රථයේ ගමන් ගත් මගීන් පොලිසියට ලබාදුන් ප්‍රකාශවලින් තහවුරු වී ඇත.
සිද්ධිය වූයේ ඊයේ අලුයම 4.50ට පමණය. මැල්සිරිපුර සිට කුරුණෑගල බලා ධාවනය වූ බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා නතර කර තිබියදී, පසුපසින් පැමිණි මාදුරුඔය-කොළඹ බස් රථය පාලනයකින් තොරව ගැටී ඇත. දුරකථන සංවාදයක නිරත වී සිටි රියදුරාට ඉදිරියෙන් බස් රථයක් නතර කර ඇති බව දැකගත හැකි වූයේ අවසාන මොහොතේ බව මගීන්ගේ සාක්ෂිවලින් පැහැදිලි වේ.
මෙම අනතුරින් මියගිය පුද්ගලයින් වන්නේ,
- මැල්සිරිපුර මඩහපොල පොල්කටුව පදිංචි සුසන්ත තෙන්නකෝන් (47)
- කුඹුක්වැව තිහව පදිංචි සමීර සඳරුවන් රත්නායක (24)
- ඉබ්බාගමුව තල්ගොඩපිටිය පදිංචි ඩී.එන්.එස්.පී. බණ්ඩාරනායක (28)
- මැල්සිරිපුර ඇත්මන්කඩ පදිංචි එච්.එම්.ඉන්දිරා නීලමනී (60)
අනතුරින් තුවාල ලැබූ තිස්තුන් දෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වූ පරිදි අනතුරට බලපා ඇත්තේ, අධික වේගය (පැයට කි.මී. 90ට වැඩි)
රියදුරු ජංගම දුරකථන භාවිතය හා මගීන් පටවා ගැනීම සඳහා බස් රථ දෙක අතර පැවති තරගයයි.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ රියදුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරෙන් පසු පලායාමට උත්සාහ දැරූ රියදුරු හා කොන්දොස්තරවරයා පසුව පොලිසියට භාරවී ඇත.
මෙම අනතුර නිසා අනෙක් බසයේ කොන්දොස්තරවරයාද මියගියේය.
සිද්ධිය වූ ස්ථානයේ තුවාලකරුවන් මුදා ගැනීමේ කටයුතුවල නිරත වූ මොහොමඩ් රිස්වාන් මහතා පැවසූ පරිදි, අනතුර සිදුවී පැය භාගයක් පමණ ගතවනතුරු රෝගීන් රෝහල් ගත කිරීමට කිසිදු වාහනයක් නතර නොකළ අතර, බොහෝ දෙනා වීඩියෝ සහ ඡායාරූප ගැනීමට පමණක් උනන්දු වී ඇත. මෙම ස්ථානය මීට පෙරද අනතුරු කිහිපයක් වාර්තා වූ අනතුරුදායක ප්‍රදේශයක් බවද ඔහු පෙන්වා දෙයි.
දොරටියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතා ඇතුළු නිලධාරීන් තුවාලකරුවන් රෝහල්ගත කිරීමේ කටයුතුවලට සහාය දක්වා ඇත.
මෙම අනතුර මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසක් මතුකර දක්වන අතර, රියදුරන්ගේ වගකීම් විරහිත ක්‍රියා, ජංගම දුරකථන භාවිතය සහ අධික වේගය වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval