
අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ නවතම සාමාජිකයන් වන මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනා සඳහා මහජනතාව විසින් යෝජනා කරන ලද නම් 4,000ක් අතරින් තෝරාගත් නම් හයක් ඊයේ (12) දින නිල වශයෙන් පිරිනැමිණි.
සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ උත්සවයේදී, එකම පිරිමි සිංහ පැටවාට 'මේඝා' ලෙසත්, ගැහැනු සිංහ පැටවුන් පස්දෙනාට පිළිවෙලින් 'ටාරා', 'අඝ්‍රා', 'භූමි', 'අකීරා' සහ 'එල්සා' යන නම් පිරිනැමිණි.
මෙම සිංහ පැටවුන් උපත ලැබුවේ රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සිංහ යුවළ දෙකක් වන 'ලාරා'-'යූලා' සහ 'ඩෝරා'-'වොලි' යන මවුපියන්ගෙනි. පැටවුන්ගේ සුවදුක් බලන පශු වෛද්‍ය නදුන් කළුආරච්චි මහතාගේ වාර්තා අනුව, සියලුම පැටවුන් නිරෝගී තත්ත්වයෙන් පසුවන අතර, ඔවුන්ගේ වර්ධනය සතුටුදායක මට්ටමක පවතී.
සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමේ විශේෂ වැඩසටහනක් දියත් කරන ලද අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නම් යෝජනා 4,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිණි. මෙම නම් අතරින් සුවිශේෂී නම් හයක් තෝරාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබිණි.
නම් යෝජනා කළ ජයග්‍රාහකයින්
* මේඝා (පිරිමි පැටවා) - ගාල්ල, බඩගල්ල, කේ. උතුම් ඉඳුවර
* ටාරා (ගැහැනු පැටවා) - දැරණියගල, අහිංසා රුක්ෂාණි
* අඝ්‍රා (ගැහැනු පැටවා) - තේමන්දි දෙහස්නා
* භූමි (ගැහැනු පැටවා) - නිෂීනා එගොඩගෙදර
* අකීරා (ගැහැනු පැටවා) - පාණදුර, දුලීෂා පරණමාන
* එල්සා (ගැහැනු පැටවා) - බිංගිරිය, දිලීප නිර්මාල්
නම් යෝජනා කළ ජයග්‍රාහකයින් තිදෙනෙකු උත්සවයට සහභාගී වූ අතර, ඔවුන් වෙත විශේෂ සිහිවටන සහ තිළිණ පිරිනැමිණි. තවද, සියලුම ජයග්‍රාහකයින්ට තම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු සමඟ රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දී තිබේ.
නම් තැබීමේ උත්සවයෙන් අනතුරුව, සිංහ පැටවුන් හය දෙනා මහජන ප්‍රදර්ශනය සඳහා නිල වශයෙන් එක් කරන ලදී. උද්‍යාන භාරකරු හේමන්ත සමරසේකර මහතාගේ ප්‍රකාශනය අනුව, පැටවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සහතික කරමින් ඔවුන් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට සියලු පියවර ගෙන ඇත.
මෙම සිංහ පැටවුන්ගේ උපත සහ ඔවුන්ට නම් තැබීම රිදියගම සෆාරි උද්‍යානයේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සටහන් වන අතර, මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ ප්‍රයත්නයන්හි සාර්ථකත්වය පිළිබිඹු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

Comments
Post a Comment
Your comment will be visible after approval