
මුළු දිවයිනම පැය පහක් ඇණහිටිය විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විශේෂ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ. පානදුර ග්‍රිඩ් උපපොළේ සිදුවූ වඳුරු ආක්‍රමණයක් හේතුවෙන් මෙම ඇති වූ බවට කතාබහක් තිබෙන නමුත් එවැන්නක් ඇත්තටම සිදුවුණාද එවැනි දෙයක් නිසා රටටම බලපාන බිඳ වැටීමක් සිදුවන්නේ කෙසේද යන්න මෙම වාර්තාව සැකසීමේදී විමර්ශනයට ලක්වනු ඇත.
මෙම තත්ත්වය සමස්ත ජාතික විදුලිබල පද්ධතියේම සමතුලිතතාව බිඳ දැමූ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය.
අද (09) පෙරවරු 11.15ට පමණ ආරම්භ වූ මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයිනේ සියලු ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටුණු අතර, පැය පහකට ආසන්න කාලයක් මුළු රටම ගැටලු වලට පත්ව තිබිණි. කෙසේ වෙතත්, පස්වරු 5.30 වන විට රටේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ සියලුම ග්‍රිඩ් උපපොලවල විදුලි සැපයුම් කටයුතු දැනට යථා තත්ත්වයට පත්කර ඇති බවයි. කෙසේ වෙතත්, ස්ථාන කිහිපයක ද්විතීයික සැපයුම් මාර්ගවල තවමත් සුළු බාධා පවතින අතර, එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගනිමින් සිටින බවද ඒ මහතා අවධාරණය කළේය.
ඉරිදා දිනයක් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට යම් පහසුවක් වූ බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
සේවකයින් නිවාඩු සිටීම නිසා ඔවුන් ගෙන්වා මෙය සැකසීමටද ඇතැම් පෙදෙස් වල යම් කාලයක් ගත විය.
පස්වරු 2.00 වන විට කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රමුඛතා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තවදුරටත් පැවසූ පරිදි, මෙවැනි විදුලි බිඳවැටීමක් යළි සිදු නොවීමට අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරන අතර, මෙම සිදුවීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී.
මහජන උපයෝගිතා කොමිසම විසින් කැඳවනු ලබන වාර්තාව මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval