power-cut-end

අද (පෙබරවාරි 14) සිට දිවයින පුරා දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙම ප්‍රකාශය සිදු කෙරෙන්නේ පසුගිය දිනවල රට පුරා පැවති විදුලි කප්පාදු තත්ත්වය සම්පූර්ණයෙන්ම නිමා කිරීමත් සමඟය.



පසුගිය ඉරිදා දින ජාතික විදුලි පද්ධතියේ ඇති වූ බරපතල අසමතුලිතතාවක් හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම සම්පූර්ණයෙන් අක්‍රිය වී තිබිණි. කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය  සඳහන් කළ පරිදි, දැනට එක් ජනන යන්ත්‍රයක් ජාතික විදුලිබල පද්ධතියට සාර්ථකව සම්බන්ධ කර ඇති අතර, ඉතිරි යන්ත්‍ර දෙක ද ඉදිරි දින කිහිපය තුළ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට නියමිතය.



මෙම අර්බුදය ආරම්භ වූයේ පානදුර ග්‍රිඩ් උප පොලේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. එම දෝෂය හේතුවෙන් මුළු දිවයින පුරාම විදුලි සැපයුම බිඳ වැටුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය විය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දිවයින කලාප හතරකට බෙදා, එක් එක් කලාපයට වෙන් වෙන්ව විදුලිය කප්පාදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.

විදුලිබල අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. මේ අතර, පසුගිය දිනවල විදුලි කප්පාදුව ක්‍රියාත්මක වූයේ පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයක සිට පැය එකහමාරක කාලයක් සඳහා පමණි.