
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මෙම සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ හිටපු කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකුද ඇතුළත් වන බව පොලිසිය තහවුරු කර තිබේ.
අපරාධය සිදුකිරීමෙන් පසු වෙඩික්කරු හා නීතිඥ වෙසින් පැමිණි ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 25 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව ප්‍රදේශයේ දුරකථන සන්නිවේදන ආයතනයක සේවය කරන මෙම සහෝදරයන් භාවිත කළ ත්‍රිරෝද රථය එම ආයතනයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු අනුව, වෙඩි තැබීමෙන් පසු කමාන්ඩෝ සලිඳු නම් වෙඩික්කරු කඩොල්කැලේ ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට ගොඩවී කොච්චිකඩේ රිදීවැල්ල මාර්ගයට ගොස් තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබූ ගමන් මල්ලක් ත්‍රිරෝද රථයෙන් පිටතට විසි කර ඇත. පසුව වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය සමඟ වයික්කාල ප්‍රදේශයට ගොස් ඇති අතර, වෙඩික්කරු වයික්කාල දුම්රිය ස්ථානය අසලින් සහ ඉෂාරා සෙව්වන්දි කොප්පර හන්දිය ප්‍රදේශයෙන් බැස ගොස් තිබේ.
ඝාතනයට යොදා ගත් ගිනි අවිය සන්තකයේ තබාගෙන සිට වෙඩික්කරුට ලබා දීමට සැලැස්වූ වයස අවුරුදු 22ක ගම්පහ ප්‍රදේශයේ තරුණයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, වෙඩික්කරු පලා යාමට භාවිත කළ වෑන් රථය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල් හසිත රොෂාන් (37) අත්අඩංගුවට ගෙන තිබේ. ව
ෑන් රථයේ තිබී හමුවූ "මිස්ටර් රොෂාන්" යනුවෙන් සඳහන් බිල්පතක ජංගම දුරකථන අංකය ඔස්සේ සිදු කළ විමර්ශන අනුව ඔහු කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරයාගේ ප්‍රකාශයට අනුව, එම වෑන් රථය දැනට විදේශගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රුවින්ද නැමැත්තෙකු විසින් තමාට ලබා දී ඇති අතර, ඔහුගේ උපදෙස් මත එය වෙඩික්කරු ප්‍රවාහනය කළ රියදුරුට ලබා දී තිබේ. කොස්තාපල්වරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා ජීව උණ්ඩ 7ක්, එම් 16 වර්ගයේ ගිනි අවි සඳහා ජීව උණ්ඩයක්, අයිස් මත්ද්‍රව්‍ය තැවරුණු විද්‍යුත් තරාදියක් සහ ඇක්වා මෝටර් රථයක් සොයාගෙන තිබේ.
විමර්ශනවලින් අනාවරණ වී ඇති පරිදි, දැනට පලා ගොස් සිටින ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය වට්ස්ඇප් ඔස්සේ ඝාතනයට සම්බන්ධ සියලු පුද්ගලයින් මෙහෙයවා ඇත.
ඇය ලැගුම් ගෙන සිටි බව පැවසෙන දෙහිවල පිහිටි ලැගුම්හලක් පරීක්ෂා කර ඇති අතර, ඇගේ මිත්තණිය, මව සහ සහෝදරයා මරණ තර්ජන ඇතැයි පවසමින් මීගමුව පාරේ, ජය මාවතේ පිහිටි නිවස හැර ගොස් තිබේ.
මේ අතර, වෙඩික්කරුගේ පෙම්වතිය වන කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි (23) නම් මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිය මුදා හැර තිබේ. ඇය පන්නිපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සිටියදී පසුගිය 21 වැනිදා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයෙන් පසු වෙඩික්කරු ඇය ද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව අනාවරණ වී තිබේ.
වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබන අතර, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබේ.