deputy-minister-visits-hddes-sri-lankas-best-export-manufacturing-factory-that-caught-fire-in-horana

ඊයේ(13) දින හොරණ ආයෝජන කලාපයේ පිහිටි HDDES කර්මාන්තශාලා පරිශ්‍රයේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳව පරීක්ෂා කර බැලීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා  අද ගොස් තිබුණි.
කර්මාන්තශාලාවේ ප්‍රධානියා විසින් දැනුම් දී ඇති පරිදි නවීන උපකරණවලින් සමන්විත අත්‍යාධුනික පර්යේෂණාගාරය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.




2025 වසරේ හොඳම අපනයන සම්මානය දිනා ගත් HDDES කර්මාන්තශාලාවේ කිසිදු සේවකයෙකුට මෙම සිදුවීමෙන් හානියක් සිදු වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කළේ HDDES කර්මාන්තශාලා පරිශ්‍රයේ ඇති වූ ගින්න අද අලුයම වන විට පාලනය කර ගැනීමට හැකි වූ බවයි.

තවදුරටත් කරුණු දැක්වූ ඔහු, හොරණ, කළුතර, කෝට්ටේ සහ කොළඹ යන ප්‍රදේශවල නාවික හා ගුවන් හමුදා ගිනි නිවීමේ කණ්ඩායම්වල සහය ඇතිව මෙම ගින්න එක් ගොඩනැගිල්ලකට පමණක් සීමා කර පාලනය කර ගැනීමට හැකි වූ බව පැවසීය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ගින්නෙන් සිදුවූ මූල්‍යමය හානිය තක්සේරු කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

කර්මාන්තශාලාවේ අනෙකුත් අංශවල නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව ද වාර්තා වේ.

මෙම කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අපනයන සමාගමක් වන අතර, මෙම වසරේ හොඳම අපනයනකරු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.  ඩුබායි, ජර්මනිය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනය කිරීමට ප්‍රමුඛව පියවරගන්නා මෙම
කර්මාන්තශාලාවේ නවීන පර්යේෂණාගාරය විනාශ වීම සමාගමේ අනාගත සංවර්ධන කටයුතුවලට බලපෑමක් ඇති කළ හැකි බව කර්මාන්ත විශේෂඥයෝ පෙන්වා දෙති.

ගින්න ඇති වීමට හේතු විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. මෙම සිදුවීමෙන් පසු කර්මාන්තශාලාවේ ආරක්ෂක විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව කළමනාකාරීත්වය පවසයි.