cctv-footage-of-a-supermarket-in-divulapitiya-samindu-sewwandi-two-days-before-the-murder

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් නීතිඥ වෙස්ගත් වෙඩික්කරු ලෙස සැක කෙරෙන සහ මේ වන විටත් පොලිසියට අසු නොවී පලා ගොස් සිටින, ඝාතන සිද්ධියට යොදා ගත් ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය, ඝාතන සිද්ධියට දින දෙකකට පෙර දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක සවාරියේ ගොස් විනෝදයෙන් ගත කරන අයුරු සීසීටීවී කැමරාවල සටහන් වී ඇති බව වාර්තා වේ.

ඝාතනයට දින දෙකකට පෙර, එනම් 17 වන දින දහවල් 2.17ට පමණ එම වෙළඳසලට පැමිණි ඔවුන් දෙදෙනා, කුඩා භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමෙන් අනතුරුව කිරි බෝතල් දෙකක්ද පානය කරන අයුරු දර්ශනය වී තිබේ.



ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවා සිටින හිටපු හමුදා සාමාජික සමුදු දිල්ෂාන් පියුමංග කඳන ආරච්චි නම් සැකකරු, මේ වනවිටත් අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරියට වෙළෙඳසලෙන් ලබාගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවීම සිදු කර ඇත. ඉෂාරා සෙව්වන්දි විසින් එම මුදල් ගෙවීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනාම විනාඩි 5ත් 8ත් අතර කාලයක් තුළ ඉතා විනෝදයෙන් වෙළඳසලෙන් පිටව ගිය අයුරු ද සීසීටීවී දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇත.

පොලිස් විමර්ශන වාර්තා අනුව, පසුගිය 19 වැනි දින සිදු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් පසුව, සැකකාර කාන්තාව තම පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව, ඇය දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මතුගම ශාන් නමැත්තාගේ උපදෙස් මත මතුගම ප්‍රදේශයට පැමිණ සිටින බවට දැන ගැනීමෙන් අනතුරුව, දින දෙකකට පෙර විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත.

මේ වන විට පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියගේ මව, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිති.

සංජීවගේ මරණයට අද දින වන විට හරියටම දින නවයක් ගතවී ඇත.

ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුනාගෙන ඇති මීගමුව-කටුවැල්ලේගම පාර, අංක 243 හි පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති 25 හැවිරිදි කාන්තාව මේ දක්වා ආරක්ෂක අංශවලට හෝ බුද්ධි අංශවලට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

විමර්ශන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සිටින අතර, ඔවුන් ගැනද විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. ඝාතනය සඳහා භාවිතා කර ඇති ගිනි අවියද අත්අඩංගුවට ගෙන විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පොලිස් ප්‍රකාශක කාර්යාලය විසින් වාර්තා කරයි.

පොලිසිය විසින් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සඳහා රටපුරා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඇයගේ ඡායාරූප හා තොරතුරු ද මහජන සහාය ලබා ගැනීම සඳහා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත.