veteran-dancer-peter-surasena-passes-away-at-the-age-of-85

උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායෙහි ප්‍රවීණයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ නර්තනවේදී පීටර් සූරසේන මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියෙහි පසුවූ අතර, කෙටි කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගත්තේය.

වර්ෂ 1940 ජනවාරි මස 13 වැනිදා මහනුවර හඟුරන්කෙත - අරුප්පල ප්‍රදේශයේ දී මෙලොව එළිය දුටු ප්‍රවීණ නර්තනවේදියා සිය මූලික අධ්‍යාපනය අරුප්පල ධර්මාශෝක විද්‍යාලයෙන් හදාරා අවසන් කළේය. හත් දෙනෙකුගෙන් සමන්විත පවුලේ හයවැන්නා වූ පීටර් සූරසේන මහතා අට හැවිරිදි වියෙහි පසුවන විට නර්තන ශිල්පය හැදෑරීමට ඔහුගේ පියා සමග මහනුවර - අමුණුගම සුරඹා ගුරුන්නාසේ සම්මුඛයට පැමිණ ඇත. එහිදී ඔහු දැක්වූ සුවිශේෂී නර්තන දක්ෂතා හේතුවෙන් කැපී පෙනෙන ශිෂ්‍යයෙකු ලෙස හැඳින්වුණි.

ඉන් අනතුරුව සුරඹා ගුරුන්නාසේගේ මගපෙන්වීම මත මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරට පීටර් සූරසේන විශිෂ්ටයාණන් එක්වන අතර එහිදී ඔහු පළමුව එක්වන්නේ මාලිගාවේ දේවාල පෙරහැරටයි.

ඔහු උඩැක්කිය වාදනය කරමින් මුල් වරට නුවර පෙරහැරේ ගමන් කළේ 1952 වසරේ දී ය. පසුව හෙතෙම නෛයඩි ශිල්පියකු ලෙස පෙරහැරට සම්බන්ධ විය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ දී නිශ්ශංක විජේරත්න දියවඩන නිලමේවරයා විසින් සූරසේන නර්තනවේදියාගේ කුසලතාව ගැන පැහැදී දියවඩන නිලමේවරයාගේ දෙපසින් යන නැටුම් කණ්ඩායමේ දකුණුපස ප්‍රධානියා ලෙස පීටර් සූරසේන ව තෝරාගත්තා.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ඉදිරියේ ගමන් ගන්නා උඩරට වෙස් නැටුම් කණ්ඩායමට දශක ගණනාවක් තිස්සේ නායකත්වය දුන් ඔහු මෙයට සිව් වසරකට පෙර අවසන් වරට පෙරහැරේ ගමන් ගන්නා අවස්ථාවේදීද ජව සම්පන්න තරුණයින් පරදා නැටුමින් සැමගේ නෙත් සිත් පැහැර ගන්නට සමත් විය.

වර්ෂ 1958 සිට 2022 දක්වා වසර 64ක් දළදා මාලිගාවේ පෙරහැරේ වෙස් නැටුම් ශිල්පියා ලෙස කටයුතු කරමින් දෙස් - විදෙස් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පීටර් සූරසේන මහතා, ජීවිත මංපෙතේ හැත්තෑවන කඩ ඉම පසු කර සිටියදීත් කිලෝ හතරක පමණ බරින් යුත් වෙස් නැටුම් කට්ටලට ඇඟ දරා රැඟුම් පෑවේ ජවසම්පන්න තරුණයකු මෙනි.

1959 වසරේ දී ඔහුගේ හිසේ වෙස් තට්ටුව තබා ඇත්තේ අමුණුගම සුරඹා, නිත්තවෙල ගුණයා, තිත්තපජ්ජල සුරඹා, නිත්තවෙල උක්කුවා යන උඩරට පාරම්පරික වෙස් නැටුම් කලාව රක්ෂා කළ ප්‍රධාන පරම්පරා හතරේ පතාක යෝධයින් සිවුදෙනා වීම ඉතිහාස ගත සිද්ධියක් සේ සැලකේ.

සංස්කෘතික අමාත්‍යාංශය මගින් මුල්වරට ලංකාවේ රාජ්‍ය නැටුම් කණ්ඩායමක් ඇති කළේ 1959 අවුරුද්දේය. ඔහු එම ආරම්භක නැටුම් කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු වෙස් බඳින්නේ රාජ්‍ය නැටුම් කණ්ඩායමට තෝරාගත් පසුය.



ලංකාවේ පළවෙනි රාජ්‍ය නැටුම් කණ්ඩායමට සාමාජිකයින් 17 ක් ඇතුළත් වූහ. පණිභාරත නැටුම් කණ්ඩායමේ නායකයා ය. ගායකයකු ලෙස ඩබ්ලියු.ඩී. අමරදේවයන් ද නර්තන ශිල්පිනියක ලෙස විමලා අමරදේව මැතිනිය ද වූහ.

වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස රටවල් 80ක සංදර්ශන පවත්වා ඇති අභාවප්‍රාප්ත පීටර් සූරසේන මහතා ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ද විය.


1970 වර්ෂයේ දී රජයේ ගුරු සේවයට එක්වන පීටර් සූරසේන මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ ද නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළේය.

සූරසේන ගුරුන්නාසේ පාඨශාලාචාර්යවරයකු ලෙස 1966 සිට 1993 දක්වා කටයුතු කළේය. ඔහු විශ්‍රාම ගියේ දක්ෂ නර්තන ශිල්පීන් රැසක් රටට දායාද කරමිනි. මහනුවර අරුප්පොළ පිහිටි සූරසේන ගුරුන්නාන්සේගේ නිවසේ පවත්වා ගෙන යන සේසත සූරසේන කලායතනය තුළින්ද උඩරට පාරම්පරික නර්තන ශිල්පීන් බොහෝ පිරිසක් බිහි කළේය.


සූරසේන ගුරුන්නාසේ ගේ පියා මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයාය. බලි පරම්පරාවක කෙනෙක් වූ පියා විවාහ වන්නේ උඩරට නර්තන පරම්පරාවකින් පැවත එන කාන්තවක් සමඟය. මේ සංකලනය කුඩා අවධියේ සිට සූරසේන ගුරුන්නාසේ ගේ ජීවිතට බලපෑවේය.



නිත්තවෙල ගුණයාගේ හොඳම ගෝලයා වූ හීන් බබා ධර්මසිරි, සූරසේන ගුරුන්නාසේ ගේ සොයුරාය. ඉංග්‍රීසි පාලන සමයේ ආණ්ඩුකාරවර සෝල්බරි සාමිවරයා පිනවන්නට නව වැනි වියේදී උඩැක්කිය වාදනය කරමින් වේදිකාවට පිවිසි ඉතිහාසයක් ද ඇත.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් මහනුවර ඇසළ පෙරහැරට සම්බන්ධව අති විශිෂ්ට දක්ෂතා දක්වන කලා කරුවන් ඇගයීම පිණිස 1978 දී ඇතිකළ ජනපති සම්මාන පිරි නැමීමේ උත්සවයේදී පීටර් සූරසේන මහතා තම ජීවිතයේ මුල් වරට ජනපති සම්මානයකින් පිදුම් ලැබීය.

ඉන් පසු ආර්. ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් සිව් දෙනකුගෙන්ම ඇගයීම් ලබන්නට හෙතෙම සමත් විය.

ජනාධිපති ඩී.බී විජේතුංග මහතා විසින් "ශ්‍රී ලංකා තිලක" ගෞරව නාමයෙන් මෙම සුවිසල් නර්තන ශිල්පියා ව ගෞරවයට පාත්‍ර කර තිබීම ද විශේෂත්වයක් ලෙස සැලකිය හැක.


දිවංගත සුමනා උඩගෙදර මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන මෙම විශිෂ්ටයා දරුවන් පස්දෙනෙකුගේ පියෙක් විය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස ඔහු වසර 60 කට ආසන්න කාලයක් ගමන් ගෙන තිබේ. පීටර් සූරසේනයන් යනු උඩරට නැටුම් කලාවේ ගෞරවය ආරක්ෂාකර ගනිමින් එය තවත් උසස් ගෞවරණීය තැනකට ඔසවා තබන්නට ජීවිතය පුරා වෙහෙසුනු කලා කරුවෙකි.

ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය, මහනුවර ඇසළ පෙරහැරේ අඛන්ඩව හැත්තෑ වසක් රැඟුම් දක්වා වෙස් නැටුම් ශිල්පියා වූ පීටර් සූරසේන මහතා හෘදයාබාධයක් වැළඳී අප අතරින් සමුගත්තේ  මහා විශාල සලකුණක් දේශීය කලා සම්ප්‍රදාය තුළ තබමිනි.