කලින් කලට විවිධ ආන්දෝලානත්මක ප්‍රකාශයන් මෙරට බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව ඉදිරිපත් වේ. එවැනි ප්‍රකාශයක් පසුගිය පාර්ලිමේතු සැසිවාරයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ද මන්නාරමේ පිහිටි මෙගාවොට් 50ක සුළං බලගාර ව්‍යාපෘතියක් දේශීය සමාගමක් වෙත ලබාදීමේ තීරණයක්  සම්බන්ධයෙන්ද සිදු කරන ලදී.
මෙම සුළං බලාගාරය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම පසුගිය වසරේ මැයි මාසයේදී සිදු වූ අතර  එහිදී ප්‍රබල සමාගම් රැසක් ලංසු ඉදිරිපත් කළේය.ඒ අනුව පොදු ටෙන්ඩරයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ලංසු තැබීමේ අවස්ථාවේදී ලක්දනවි සමාගම ඇමරිකානු ඩොලර් ශත 5.90ක්, විදුලංකා සමාගම ඇමරිකානු ඩොලර් ශත 4.98ක් සහ වින්ඩ් ෆෝස් සමාගම ඇමරිකානු ඩොලර් ශත 4.88ක් වශයෙන් සිය ලංසු ඉදිරිපත් කර තිබුණි.මෙහිදී ඉදිරිපත් වූ අවම ලංසුව ලෙස ඇමරිකානු ඩොලර් ශත 4.65ක අගය ඉදිරිපත් කර තිබුණේ හේලිස් ෆෙන්ටන්ස් සමාගම විසිනි.


කෙසේ වෙතත් එවකට සිටි කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් (CANC) මෙම ටෙන්ඩරය වින්ඩ් ෆෝස් සමාගම වෙත ලබාදීමට නිර්දේශ කළ බව ලිපියක් මඟින් හේලීස් ෆෙන්ටන්ස් වෙත ජූලි මාසයේදී දැනුම් දුන් අතර එහිදී හේලිස් ෆෙන්ටන්ස් සමාගම ප්‍රතික්ෂේප වීමට හේතු වූ එකම සාධකය ලෙස ඔවුන් සඳහන් කර තිබුණේ  ලංසු ඉදිරිපත් කිරීමේදී සිදු වූ සුළු ලේඛන  දෝෂයකී.
ඒ අනුව මේ වෙනුවෙන්  අභියාචනාවක් ගොනු කරමින් අභියාචනා කමිටුව වෙත යොමු කිරීමට හේලීස් ෆෙන්ටන්ස් විසින් පියවර ගත්තේය.ඉන් අනතුරුව මේ පිළිබඳ අධීක්ෂණ කටයුතුවලදී මෙම ලංසු තැබීමේ දෝෂ පිළිබඳ අභියාචනා කමිටුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රශ්න කළ අතර එහිදී සාර්ථක පැහැදිලි කිරීමක් සැපයීමට ඔවුන් අපොහොසත් විය.

එමෙන්ම ලංසුව ප්‍රතික්ෂේප වීම කෙරෙහි තුඩු දුන් වෙනත් හේතු සාධක පිළිබඳව ද ඔවුන්ගෙන් කළ විමසීමේදී වෙනත් දෝෂයක් නොමැති බව ලංවිම විසින් සඳහන් කරන ලදී. 2024 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් (CANC) සමාගමේ මූල්‍ය ලංසුව විවෘත කිරීමට නිර්දේශ කර ඇති බව සඳහන් කරමින් ලංවිම විසින් ෆෙන්ටස් වෙත ලිපියක් යොමු කර තිබූ අතර දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය හේලීස් ෆෙන්ටන්ස් වෙත ලබාදීමට තීරණය කර ඇති බව සියලුම ලංසුකරුවන් වෙත බලශක්ති අමාත්‍යංශය මඟින් ලිපියක් ඔස්සේ දන්වන ලදී.
හේලීස් ෆෙන්ටන්ස් වෙත මෙම සුළ බලාගාර ව්‍යාපෘතියේ අනුමැතිය හිමිවූයේ එම දීර්ඝ අධීක්ෂණ සහ  ඇගයීම් කටයුතුවලින් අනතුරුවයි.එමෙන්ම මෙම නිර්දේශයට එරෙහිව අභියාචනා ගොනු කිරීමට සතියක කාලයක් ලබාදී තිබුණ ද කිසිඳු සමාගමක් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කර නොතිබුණි.

එබැවින් ප්‍රමාණවත් හෝ නිරවද්‍ය තොරතුරු  නොමැතිව මෙවැනි පූර්ණ විනිවිදභාවයකින් ක්‍රියාත්මක වූ  ඇගයීම් සහ තීරණ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විවේචන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇති හේතු සාධකය අපැහැදිලිය.
හේලීස් ෆෙන්ටන්ස් වැනි දේශීය සමාගමක් වෙත මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය ලබාදීම මෙරට ආර්ථිකයට බෙහෙවින් වැදගත් වේ.එහි එක් වැදගත් කරුණක් වන්නේ, ඔවුන් විසින් අවම ලංසු අගය ඉදිරිපත් කිරීම සහ ඒ ඔස්සේ මෙරට විදුලි පාරිභෝගිකයන් වෙත ලැබෙන ආර්ථික සහනයයි.අනෙක් කරුණ නම්, මේ තුළින් රුපියල් බිලියන 03කට වඩා ඉහළ ප්‍රාග්ධනයක්  රටට ඉතිරි කර දෙමින් රටේ ආර්ථිකයට සවිමත් අත්වැලක් සැපයීමයි. එබැවින් එය නිසැකවම රටටත් ජනතාවටත් සුබවාදි තීරණයක් වේ.එහෙත් මහජන ඡන්දයෙන්ම තේරී පත් වූ මහජන නියෝජිතවරුන් මහජනයාට යහපත සලසන මෙවැනි තීරණ සඳහා සහයෝගය ලබාදීම වෙනුවට  එම මාර්ගයන් අවහිර කිරීමට  උත්සහ කරන්නේ ඇයි? තරඟකාරි අනෙකුත් සමාගම් ද රජයේ තීරණයට සිය එකඟතාව පළ කරමින් සිටින පසුබිමක ,අවම ලංසුවකට මෙම ව්‍යාපෘතිය දේශීය සමාගමක් වෙත පැවරීම කෙරෙහි මන්ත්‍රීවරයා උරණ වීමට සැබෑම හේතුව කුමක්ද?