
අනුරාධපුර, සිවලාකුලම ප්‍රදේශයේ පිහිටි කුට්ටිකුලම ශීලවංශ විද්‍යාලයේ සිසුන් දහඅට දෙනෙකු පාසලෙන් ලබාදුන් විටමින් පෙති පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ උදර වේදනා හේතුවෙන් අනුරාධපුර පයිරිමඬුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සිවලාකුලම පොලිසිය වාර්තා කරයි.
මෙම සිද්ධියට ගොදුරු වූ සිසුන් හය හා හත්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් බව පොලිස් වාර්තා තවදුරටත් සඳහන් කරයි. සිසුන් විශාල පිරිසකට උදර ආබාධ ඇති වීමෙන් පසු ඔවුන් පෙරවරු 11.00ට පමණ රෝහල් ගත කර ඇත.
රෝහල් බලධාරීන්ගේ ප්‍රකාශ අනුව, රෝහල්ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිරප්පනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චින්තක මහතා පැවසුවේ, තමන් විශේෂ රාජකාරියක් සඳහා ප්‍රදේශයෙන් බැහැරව සිටි නමුත්, මෙම සිද්ධිය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඇති බවයි.
වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රාථමික නිරීක්ෂණ අනුව, මෙම තත්ත්වයට හේතුව උදෑසන ආහාර නොගෙන විටමින් පෙති පානය කිරීම විය හැකි බව අනුමාන කෙරේ. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් පරිපාලනය හා අධ්‍යාපන බලධාරීන් විසින් විශේෂ අවධානය යොමු කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval