
ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා මහත්මිය ඊයේ (12) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඇය, මියයන විට 68 වන වියේ පසුවූවාය.
වයස අවුරුදු අටේදී නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ 'වෙස්සන්තර' නූර්ති නාට්‍යයේ ක්රිෂ්ණජිනාගේ චරිතයෙන් රංගන දිවියට පිවිසි කුමාරි පෙරේරා, සුප්‍රකට ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටී. විල්බට් පෙරේරා සහ සෝමකාන්තා යන දෙපළගේ දියණියක් වූවාය. ප්‍රවීණ ගායක ටී. ෂෙල්ටන් පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී සූරියරාණි පෙරේරා යන මහා කලාකරුවන්ගේ සහෝදරියක වූ ඇය, කලා පවුලක උරුමය රැගත් විශිෂ්ට කලා ශිල්පිනියක් ලෙස සිය දක්ෂතා පෑවාය.
වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගුවන්විදුලි වැඩසටහන් යන සියලු මාධ්‍යයන්හි සිය කලා ප්‍රතිභාව විදහා දැක්වූ ඇය, විශේෂයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ මනමේ කුමරියගේ චරිතය රඟපෑවාය. එමෙන්ම 'සිංහබාහු' නාට්‍යයේ සිංහසීවලී ලෙස ද කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළාය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුල් යුගයේ නිෂ්පාදනය කෙරුණු 'අතරමගක නවාතැන' නාට්‍යයෙන් රූපවාහිනී මාධ්‍යයට පිවිසි ඇය, 'කෝපි කඩේ', 'කන්දේ ගෙදර', 'සිටුමැදුර', 'ලොකු අයියා', 'බෝඩිම', 'පොද වැස්ස', 'ඉරට හඬන මල්' ඇතුළු ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වූවාය.
සිනමාවේදී 'වෙසතුරු සිරිත', 'සිකුරු දසාව', 'ගිනි අවි සහ ගිනි කෙළි' වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ ඇය, චිත්‍රපටි දහයකට අධික සංඛ්‍යාවක හඬකැවීමෙන් ද දායක වූවාය. විශේෂයෙන් විදේශීය ටෙලි නාට්‍ය වෘත්තාන්තවල සිංහල හඬකැවීම්වලට ද සහභාගී වූ අතර, රූකඩ කලාව සඳහා හඬකැවීම හා පසුබිම් ගායනයෙන් ද දායක විය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නූර්ති සහ සරල ගී ශිල්පිනියක් ලෙස 1988 වසරේ සිට කටයුතු කළ ඇය, නිවේදිකාවක ලෙස ද කටයුතු කළාය. 'ආයුබෝවන්', 'කෝමල රේඛා', 'නුගසෙවන', 'සුභ උදෑසනක්', 'මියුරස වින්දන', 'නෙත්සැර', 'ගීතාවනී' වැනි ගුවන්විදුලි වැඩසටහන් රැසක් ඇය විසින් හසුරුවන ලදී.
කලා ක්ෂේත්රයේ වසර 50ක සේවය සැලකිල්ලට ගනිමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් 'කොළොම්තොට භූෂණ' සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, 1976 රාජ්‍ය නාට්‍ය උළෙලේදී 'අමල්බිසෝ' සහ 'උඩහගෙදර රත්තරන්' නාට්‍ය සඳහා විශිෂ්ට කුසලතා සම්මාන දෙකක් ද දිනා ගත්තාය.
කුමාරි පෙරේරා මහත්මියගේ දේහය මෙම මස 15 වැනි දින සෙනසුරාදා සවස 3.00ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරෙන අතර, දේහය දැනට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව පවුලේ ඥාතීන් දන්වා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval