fifty-year-old-sri-lankan-arrested-in-italy-for-raping-a-minor

ඉතාලියේ නාපෝලි ප්‍රාන්තයේ පොලිසිය විසින් දාසය හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කර ඉතාලියට පලා ගොස් සැඟවී සිටි පනස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු පෙරේදා (25) අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, එරට මාධ්‍ය මෙම ශ්‍රී ලාංකික සැකකරුගේ අනන්‍යතාවය හෙළිදරව් කර නොමැත.

ලැබී ඇති තොරතුරු අනුව, අත්අඩංගුවට ගත් මෙම ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවේ සිටියදී පහළොස් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් භාරයේ පසුව ඇප මත මුදා හැර තිබූ අයෙකි. පසුව අධිකරණය මගහැර යාම නිසා ඔහු නොමැතිව අධිකරණය විසින් නඩුව විභාග කර සිර දඬුවම් නියම කර තිබේ.

වාර්තා වන අනුව, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මෙම සැකකරු ඉතාලියට හොර රහසේ පලා ගොස් තිබේ. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, ඔහු නාපෝලි නගරයේ රැඳී සිටීම සඳහා අවශ්‍ය නීත්‍යානුකූල බලපත්‍ර පවා ලබාගෙන තිබූ බවයි. මෙම සැකකරු නාපෝලි ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් රැකියාවක ද නියැලී සිට ඇත.



ඉතාලි පොලිසිය විසින් ඔහු රැඳී සිටි නිවස වටලා අත්අඩංගුවට ගෙන ඇති අතර, දැනට පනස් හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා එරට බන්ධනාගාරයක රඳවා සිටී. ඉතාලි ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ඔහු ළඟදීම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතව ඇත.