harrys-daughter-and-son-get-high-positions-after-fathers-death

ප්‍රමුඛ පෙළේ ව්‍යවසායක දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් සමූහයේ නව සභාපතිනිය ලෙස ඔහුගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන මහත්මිය පත්කර ඇති බව සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

2024 පෙබරවාරි 6 වන දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම්වලදී ගනු ලැබූ තීරණයකට අනුව, ස්ටෂානි ජයවර්ධන මහත්මිය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, බ්‍රවුන්ස් බීච් හෝටල් සහ එයිට්කන් ස්පෙන්ස් හෝටල් හෝල්ඩින්ග්ස් යන සමාගම් තුනෙහිම සභාපති ධුරයට පත්කර ඇත. මෙම පත්වීම් පෙබරවාරි 6 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව කොළඹ කොටස් වෙළඳපොළට කරන ලද නිවේදනයක සඳහන් වේ.



ස්ටෂානි ජයවර්ධන මහත්මිය සිය පියාගේ මඟපෙන්වීම යටතේ සමාගම් කළමනාකරණය පිළිබඳ වසර 15කට අධික පළපුරුද්දක් සහිත ප්‍රවීණ ව්‍යවසායිකාවකි. මෙම පත්වීමට පෙර ඇය එයිට්කන් ස්පෙන්ස් සහ එයිට්කන් ස්පෙන්ස් හෝටල් හෝල්ඩින්ග්ස් හි ඒකාබද්ධ නියෝජ්‍ය සභාපතිනිය සහ ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇත.

ඇගේ ව්‍යාපාරික නායකත්වය මෙල්ස්ටාකෝප් පීඑල්සී, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සහ ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී වැනි ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය දක්වා විහිදී යයි.



ස්ටෂානි ජයවර්ධන මහත්මිය එක්සත් රාජධානියේ ශාන්ත ජේම්ස් සහ ලුසී ක්ලේටන් විද්‍යාලයේ, කීල් විශ්වවිද්‍යාලයේ, සිංගප්පූරුවේ එමරිටස් කළමනාකරණ ආයතනයේ උපාධිධාරිනියක් වන අතර, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විනිසුරුවරුන්ගේ ව්‍යාපාරික පාසලේ ආදි ශිෂ්‍යාවකි. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ඇය එක්සත් ජනපද සෙනෙට් සභික හිලරි රොඩම් ක්ලින්ටන් සහ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ සීමාවාසික පුහුණුවක් ද ලබා ඇති බවයි.

මෙයට අමතරව හැරී ජයවර්ධනගේ අභාවයෙන් පසු, මෙල්ස්ටාකෝප් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා ලෙස හැරී ජයවර්ධන මහතාගේ පුත් හසිත එස්. ජයවර්ධන මහතා පත්කර තිබේ. මෙල්ස්ටාකෝප් යනු ඩිස්ටලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා, එයිට්කන් ස්පෙන්ස්, එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස්, මෙල්ස්ටා ලොජිස්ටික්ස්, එයිට්කන් ස්පෙන්ස් ඉන්ටර්නැෂනල්, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස්, මැඩොල්සිය, බලංගොඩ හා ඇල්පිටිය වැවිලි සමාගම්, මෙල්ස්ටා හොස්පිටල්ස් සහ ලංකා බෙල් වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් සතු සමූහයකි.