supreme-court-orders-ceylon-electricity-board-to-pay-interest-on-consumer-deposit

ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයට (ලංවිම) නියෝග කර සිටියේ පාරිභෝගිකයින්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙසයි. මෙම නඩු තීන්දුව එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.



අධිකරණය නියෝග කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේ දී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවන ලද සියයට 11.67ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට මෙන් ම අනෙකුත් සියලුම විදුලි පාරිභෝගිකයින්ට ගෙවිය යුතු බවයි.



2024 වර්ෂයේ ජනවාරි මස 30 වැනි දින ලංවිම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇත. ලංකා විදුලිබල පනතේ 28 (03) වගන්තිය ප්‍රකාරව ලබාගෙන ඇති ආරක්ෂක තැන්පතු මුදල් සඳහා වාර්ෂික පොලී මුදල පාරිභෝගිකයින්ට ගෙවීම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීමක් බව අධිකරණය තීරණය කර ඇත.

මෙම නඩු තීන්දුව ලබාගැනීමට හේතු වූයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයින්ගේ සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකි.

එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ සහ ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

නඩුවේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති, සහ මහජන උපයෝගීතා කොමිසම නම් කර තිබිණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ ආචාර්‍ය බන්දුලනාත් දාබරේ මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.

මෙම තීන්දුව මඟින් දීර්ඝ කාලයක් තිස්සේ පාරිභෝගිකයින්ට හිමි වී තිබූ මුදල් ආපසු ලබා ගැනීමට මඟ පාදනු ඇතැයි විදුලි පාරිභෝගිකයින් අතර බලාපොරොත්තුවක් ඇති වී තිබේ.