
කොටහේන ප්‍රදේශයේ සිදු වූ ව්‍යාපාරික ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන් දෙදෙනෙකු, පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මෙම ඝාතනය සඳහා රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති අතර, එයින් රුපියල් විසිදහසක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
විමර්ශන වාර්තා අනුව, දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටින 'ඩුබායි නිපුණ' නමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ නියෝග මත, පලනි රෙනෝශන් නැමැත්තා විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සැලසුම් කර ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර අනුව, පසුගිය සිකුරාදා (21) දින කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලක හිමිකරු වන ශිවලින්ගම් ශෂිකුමාර් මහතාට වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනා,
වෙරළබඩ පොලිසියේ රථවාහන අංශයේ රාත්‍රී යතුරුපැදි සංචාරයේ නියුතු ආධුනික කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී සැකකරුවන් සන්තකයේ තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 11ක් ද පොලිස් භාරයට පත්ව ඇත.
කොටහේන පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රාථමික විමර්ශනවලදී, මෝදර කාකදූපත ප්‍රදේශයේ තවත් ආයුධ සඟවා ඇති බවට තොරතුරු අනාවරණය විය. මෙම තොරතුර මත පදනම්ව, කොටහේන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරී කණ්ඩායමක් සැකකරුවන් සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී, සැකකරුවන් විසින් ස්ථානාධිපතිවරයා සතුව තිබූ ගිනි අවිය උදුරාගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කර ඇත. මෙහිදී පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මියගිය සැකකරුවන් දෙදෙනා පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ හිටපු යුද හමුදා සෙබළ අරුණික ලක්මාල් ජයවර්ධන සහ මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වූ විජය කුමාර් ප්‍රනාත් යන අය බව හඳුනාගෙන ඇත.
මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ පාදයට ද වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර, ඔහු ද රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් විමර්ශන අනුව, මියගිය සැකකරුවන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බව තහවුරු වී ඇත. මෝදර කාකදූපත ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුම්වලදී අත්බෝම්බයක් සහ තවත් උණ්ඩ කිහිපයක් ද සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මියගිය හිටපු යුද හමුදා සෙබළ අරුණික ලක්මාල් ජයවර්ධන 2015 වසරේදී යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවත්, මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලිසිය විසින් සිදු කරමින් පවතී.