the-pistol-was-brought-by-cutting-a-book-and-hiding-it-behind-a-hole-to-kill-sanjeeva

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සිදු කළ ඝාතකයා නීතීඥ වෙසින් අධිකරණ භූමියට ඇතුළුවෙද්දී සිය පිස්තෝලය සඟවාගෙන පැමිණ ඇත්තේ පොතක් ඇතුලේ පිස්තෝලය හැටයට කපන ලද කුහරයක් තුළ බව දැන් අනාවරණයවී ඇත. එම පිස්තෝලය සහ පොත දැන් පොලිසිය සොයාගෙන ඇත.

පොලිස් මූලික විමර්ශනවලින් තහවුරු වී ඇති පරිදි, නීතිඥයෙකු ලෙස වේශ ගත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, සීසීටීවී දර්ශනවලින්ද එම පුද්ගලයා හඳුනාගෙන ඇත.ඔහු සොයා පරීක්ෂණ සිදුවෙමින් පවතී.

පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනය වීමෙන් පසු, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී සියලුම නීතිඥවරුන් අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමේදී ආරක්ෂක පරීක්ෂාවකට යටත් කරනු ලබන බවයි.



අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් අමතමින් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසූවේ මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් බවයි.

රටේ අපරාධ මර්දනය කිරීම සඳහා පාතාල සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

අද සිදුවූ වෙඩි තැබීමේදී සැකකරුවන් විසින් අධිකරණ පරිශ්‍රයට ඇතුළුවන නීතිඥවරුන් පරීක්ෂා නොකිරීමේ අඩුපාඩුව අවභාවිතා කර ඇති බව පෙන්වා දුන් වැඩබලන පොලිස්පතිවරයා, ඉදිරියේදී නීතිඥවරුන් අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමේදී පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහයෝගයද ඉල්ලා සිටින බව වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.