someone-like-thebuwana-sewwandi-padme-transfers-2-lakhs-to-sewwandis-account-after-the-murder

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී පාතාල කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ මහ මොළකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය සොයා රටපුරා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මතුගම තෙබුවන රන්නගල ප්‍රදේශයේ ඇයගේ රුවට සමාන කෙනෙකු සිටී යන ඔත්තුවක් මත පොලිසිය දැවැන්ත මෙහෙයුමක් සිදු කළත් ඒ ඇය නොවන බව පසුව හෙලි විය.


මේ වනවිට ඉෂාරා සෙව්වන්දිගේ මව හා සොයුරා අත්අඩංගුවේ පසුවන අතර
පැය 24ක කාලයක් රඳවා ප්‍රශ්න කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය පෙබරවාරි 25 වන දින සදහන් කළේය.

සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතනයට ආධාර අනුබල දී ඇති බව මෙතෙක් සිදු කළ පරිවේෂණීය සාක්ෂි මගින් අනාවරණය වී ඇත. කටුවැල්ලපුර මීගමුව පදිංචි දේවගේ චමිඳු තිවංක වීරසිංහ (23) හා සේසත්පුර දේවගේ සමන්ති (44) යන අය මෙසේ රඳවා ප්‍රශ්න කරන අතර සැකකරුවන්ගේ දුරකතනවල දත්තහා බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද අධිකරණ අවසරය ලැබිණි.
ඒ අනුව සංජීව ඝාතනය කරන බවට පූර්ව දැනුවත්භාවයකින් සිටියේ යැයි ඔවුන්ගේ දුරකතන දත්ත පරික්ෂා කිරීමෙන් හෙළි වී ඇති බව‍ පොලිසිය පවසයි.

එම දුරකතන පණිවිඩ මගින් මෙම සිද්ධියට කෙසෙල්බද්දර පද්ම නමැති අයගේ අනුදැනුමක් තිබූ බවට හෙළි වී ඇති අතර සංජීව ඝාතනය කරන බවට හා ඒ සම්බන්ධයෙන් මුදල් සංසරණය වන බවට සැකකරුවන්ගේ පූර්ණ දැනුමක් තිබූ බවට සාක්ෂි ගැබී ඇත.

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට ප්‍රහාරය සිදු කරන දිනයේදී නීතිඥ වෙසින් පැමිණි ප්‍රධාන සැකකාරිය ප්‍රහාරය සම්බන්ධයෙන් සිය සහෝදරයාට මැසෙන්ජර් හරහා පණිවිඩයක් යවමින් සඳහන් කර ඇත්තේ "උසාවිය ළඟදී සංජීවට ගහනවා" යනුවෙන් බව පෙන්වා දුන් පොලිසිය, සැකකාරිය විසින් රුපියල් ලක්ෂයක මුදලක් සිය සහෝදරයාගේ ගිණුමට යොමු කර ඇති බව ද පැවැසීය.

ඝාතනය සිදු වූ ඉකුත් 19 වැනිදා උදෑසන ද මැසෙන්ජර් පණිවිඩයක් යවා ඇති සැකකාරිය "වැඩේ ඉවරයි" යනුවෙන් සනාථ කර ඇති බව ද පෙන්වා දුන්නේය. වෙඩික්කරුගේ ජංගම දුරකතනයෙන් මෙම පණිවිඩ යවා ඇති අතර, මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු අනුව, සහෝදරයා විසින් වෙඩික්කරු සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් ලබා සිටි බව ද, වෙඩික්කරු සිය සහෝදරියගේ පෙම්වතා බවට සැකකරු හඳුනාගෙන සිටි බව ද පැවැසීය.

සැකකාරියගේ මවගේ ගිණුම හරහා මුදල් සංසරණය වී ඇති බව ද, ඝාතනය සිදු වූ දිනයේදී මීගමුව රෙදිපිළි අලෙවිසලකින් ඇඳුම් ලබාගෙන ඇත්තේ මවගේ ගිණුමෙන් බවට තොරතුරු හෙළි වී ඇත. මව පෞද්ගලික බැංකු ගිණුමක් භාවිත කර ඇති බව ත් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව දෙවන සැකකාරිය පළා යෑමට අවශ්‍ය ඇඳුම් මිල දී ගෙන ඇත්තේ එම ගිණුම හරහා බව ද

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට ත් කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මෙම ඝාතනය මෙහෙය වූ බව කියන මේ වන විට විදෙස්ගතව සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව දෙවන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ ගිණුමකට රුපියල් ලක්ෂ දෙකක් බැර කර ඇති බව ත් ඇය එම මුදල් අත්අඩංගුවට ගෙන සිටින ඇගේ මවගේ හා සොහොයුරාගේ ගිණුම්වලට දමා ඇති බව ත් විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් පැවසූහ.

ඉෂාරා සෙව්වන්දි නමැති දෙවන සැකකාරිය වෙඩික්කරු වන සමිඳු නමැත්තාගේ පෙම්වතිය බවට අනාවරණය වන නමුත් මේ වන විට බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු සමග ද ඇය පෙම් සබඳතා පවත්වා ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති ඇගේ බාල සොහොයුරාගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
සැකකාර මව හා සහෝදරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොතිබිණි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටි බැවින්, සැකකරුවන් ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට පැවැසීමට යමක් ඇත්දැයි විමසුවාය. එම අවස්ථාවේදී සහෝදරයා සහ මව සඳහන් කර සිටියේ,

"අපේ කිසිදු සම්බන්ධයක් නැහැ" යනුවෙන්ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් පෙබරවාරි 26 දින දක්වා රඳවා ප්‍රශ්න කිරිමට අවසර දෙමින් අදාළ නියෝග ද නිකුත් කළාය.

ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරිය බව කියන, ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන, රන්නගල වතුයායේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙබරවාරි 24 රාත්‍රී එම නිවස වටලා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම රාත්‍රීයේ එම නිවසට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා තෙබුවන පොලිසියේ නිලධාරින් එක්ව ආරක්ෂාව ලබා දී තිබුණි.

සැක කටයුතු කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට සති දෙකකට පමණ ඉහත දී තෙබුවන පොලිස් වසමට අයත් මතුගම රන්නගල ප්‍රදේශයේ හිතවතියක ගේ නිවසට ගොස් තිබූ අතර සෝදිසි කිරීම සැලවීමත් සමග මෙම කාන්තාව නිවසින් පිටතට දිව ගොස් කෑලෑවේ සැගවී ඇත. මෙහෙයුමේදී එකී කාන්තාව කුඩා දරුවකු සමග කැලෑව තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිදුකළ විමර්ශනවලදී එකී කාන්තාව ඉෂාරා සෙව්වන්දි නොවන බවත් එනමුත් ඇයගේ රූපයට බොහෝ සෙයින් සමානකම් ඇති තැනැත්තියක් බව බැලූ බැල්මට පෙනෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවස අයිති පුද්ගලයා මීට සති කිහිපයකට ඉහතදී විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති මුත් මෙම නිවසේ අය හා පොලිසිය සොයන ඉෂාරා සෙව්වන්දි අතර සම්බන්ධයක් සොයාගෙන නැත.