
පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සුරූපී තරුණියක වන ඩී. එච්. චමුදි විදර්ශනා ඇගේ නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.
ඇය සිහිසුන්ව සිටින බව සිතා ඇගේ මවුපියන් ඊයේ (26) පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බව හෙළි වී තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, මියගිය තරුණිය තම මව, පියා හා සොහොයුරියක සමඟ ජීවත් වූ අතර,
ඇය පවුලේ වැඩිමහල් දියණිය බව පුත්තලම පොලීසිය සඳහන් කරයි. ඇය අ.පො.ස. උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති අතර, මේ වන විට කුරුණෑගල උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරමින් සිටි බව ද තහවුරු වී ඇත.
ප්‍රාථමික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති පරිදි, ඇය සතියේ දින පහම කුරුණෑගල නගරයේ පැවති උසස් අධ්‍යාපන ආයතනයට යන බවත්, ඉකුත් (25) වැනිදා සවස නිවසට පැමිණීමෙන් පසු පියා රැගෙන විත් තිබූ එළවළු රොටියක් පමණක් ආහාරයට ගෙන රාත්‍රී ආහාර ගැනීමට නොහැකි බව පවසමින් නින්දට ගොස් ඇත.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මෙම තරුණිය ඇගේ කාමරයේ සිට මධ්‍යම රාත්‍රී 12.44 වනතුරු ජංගම දුරකතනය හරහා කෙටි පණිවිඩ හුවමාරු කර ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබීමයි.
අලුයම අවදි වූ මවුපියන්, දියණිය නිදා සිටි කාමරයට ගොස් ඇති අතර එහිදී ඇය සිහිසුන්ව සිටින බව දැක මහත් කලබලයට පත්ව පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත. නමුත්, ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බව රෝහල් බලධාරීන් තහවුරු කර ඇත.
අදාළ තරුණියගේ මරණය සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ගෙවිදු කස්තුරිආරච්චි මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කර තිබිණි. එසේම ඇයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.
පුත්තලම හදිසි මරණ පරීක්ෂක බී.එම්. නිසාම් මහතා විසින් ප්‍රාථමික පරීක්ෂණ පැවැත්වීමෙන් පසු එය වැඩි දුර පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබුණි.
මරණය සම්බන්ධව සාක්ෂි මෙහෙය වීම පුත්තලම මූලික රෝහලේ රෝහල් පොලීසියේ පොලිස් කොස්තාපල් වනසිංහ මහතා (87165) විසින් සිදු කරනු ලැබ ඇත.
මරණයට හේතුව තවමත් තහවුරු කර නොමැති අතර,
රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසු වැඩිදුර තොරතුරු හෙළි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, අවසන් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු මරණයට හේතුව හෙළි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සිද්ධිය ප්‍රදේශවාසීන් අතර බලවත් කම්පනයක් ඇති කර ඇති අතර, අභිරහස් ලෙස සිදු වූ මෙම මරණය පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.


Comments
Post a Comment
Your comment will be visible after approval