
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය පිළිබඳව දිගු කාලයක් තිස්සේ සාකච්ඡා කළද, එය යථාර්ථයක් ලෙස ක්‍රියාත්මක කර ගැනීමට රට අපොහොසත් වී ඇත. එහෙත් වත්මන් රජය බලයට පැමිණීමට පෙර සිටම ඩිජිටල්කරණය සහ ඒ හරහා රට තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමේ අරමුණ ජනතාව සමඟ සංවාදයට ලක් කර ඇති අතර, මෙය රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් බවට පත්කරගෙන තිබේ.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා රටේ ඩිජිටල්කරණ සැලසුම, ඉලක්ක, සහ ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව විස්තර කළේය.
කවුද හාන්ස් විජේසූරිය?
ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය හා බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත.
ජංගම දුරකථන ක්ෂේත්‍රයේ තම ආචාර්ය උපාධිය නිම කළ ඔහු, 1994 දී ඩයලොග් ආයතනය ආරම්භ වූ වකවානුවේ ලංකාවට පැමිණ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරමින් වසර 19ක් පමණ නායකත්වය ලබා දුන්නේය.
2016 දී ඩයලොග් මව් සමාගම වන ආසියාටා සමූහයට බැඳී, මුලින් දකුණු ආසියාතික කළමනාකරණ තනතුරක් හා පසුව සමස්ත ආසියාටා සමාගමේ විදුලි සංදේශ මෙහෙයුම් භාරව කටයුතු කළේය. මෑතකදී ජනාධිපතිවරයා විසින් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නායකත්වය ලබා දීමට ඇරයුම් ලැබීමෙන් පසු ඔහු ලංකාවට පැමිණියේය.
විගණකාධිපති වරයෙක් වූ ඔහුගේ පියාගෙන් විනය, පරිපාලනය, හා කෙළින් වැඩ කිරීමේ මූලධර්ම ලබාගත් බව ආචාර්ය විජේසූරිය සඳහන් කළේය.
ඩිජිටල්කරණ සැලැස්ම
ඩිජිටල්කරණය සාර්ථක කිරීමට ඔහු ඉදිරිපත් කළ සැලැස්ම ප්‍රධාන අංග කිහිපයකින් සමන්විත වේ:
1. ඩිජිටල් යටිතල පහසුකම්: සන්නිවේදන ජාල, ෆයිබර් ජාල, වයර්ලස් සහ ජංගම දුරකථන ජාල වැනි මූලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම. වර්තමානයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ෆයිබර් ජාලය රට පුරා ව්‍යාප්ත කර ඇත.
2. ඩිජිටල් පොදු යටිතල පහසුකම්: සොෆ්ට්වෙයාර් හරහා නිර්මාණය කරන යටිතල පහසුකම් වන ඩිජිටල් අනන්‍යතා පද්ධතිය සහ ජාතික දත්ත හුවමාරු වේදිකාව. මෙම පද්ධති මඟින් ආයතන අතර තොරතුරු හුවමාරු කිරීම පහසු කරයි.
3. ගෙවීම් පද්ධති: ඔන්ලයින් ගෙවීම් සහ ජංගම දුරකථන ගෙවීම් ක්‍රම සංවර්ධනය කිරීම.
4. අධිස්ථාපනය (Authentication): පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කරන ක්‍රමවේද, ජෛවමිතික දත්ත භාවිතය.
5. ඩිජිටල් අත්සන: ඉලෙක්ට්‍රොනික ලියවිලි සඳහා නීත්‍යානුකූල අත්සන් ක්‍රමවේද.
ඩිජිටල් වොලට් - "ඩී ලොක්"
එක් ප්‍රධාන යෝජනාවක් වූයේ "ඩී ලොක්" නම් වූ ඩිජිටල් වොලට් ක්‍රමයකි. මෙය ජංගම දුරකථනයේ ඇප් එකක් මඟින් ක්‍රියාත්මක වන අතර, පුරවැසියන්ට තම අධ්‍යාපන සහතික, රියදුරු බලපත්‍ර සහ අනෙකුත් වැදගත් ලේඛන ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීමට හැකි වේ.
ආචාර්ය විජේසූරිය විසින් කාර්මික විප්ලවයේ ඉතිහාසය විග්‍රහ කරමින්, වර්තමානයේ සිදුවන හතරවන කාර්මික විප්ලවය ගැන අවධානය යොමු කළේය. 5G තාක්ෂණය, AI, IoT, ස්මාර්ට් සිටි තාක්ෂණය මෙම විප්ලවයේ ප්‍රධාන අංග වේ. සංවේදක, ඩේටා සහ AI භාවිතයෙන් කෘෂිකර්මය, ප්‍රවාහනය, කසළ කළමනාකරණය, වාහන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් මෙම තාක්ෂණය යොදා ගත හැකි බව ඔහු පැහැදිලි කළේය.
ඩිජිටල් අනන්‍යතාවය (Digital ID)
ඩිජිටල්කරණයේ ප්‍රධානතම පදනම වන ඩිජිටල් අනන්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතු විය. ඉන්දියාවෙන් රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලැබී ඇති අතර, එය මෙම ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා යොදා ගැනීමේදී ඉන්දියානු සමාගමක් මැදිහත් වීම සම්බන්ධයෙන් සැක මුසු ප්‍රශ්න ඇතිව තිබුණි.
විජේසූරිය මහතා පැහැදිලි කිරීමක් කරමින් ප්‍රකාශ කළේ, ජෛවමිතික දත්ත එකතු කිරීමේ සහ ගබඩා කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රජයේ නිලධාරීන් මඟින් සිදු කරන බවයි. කිසිදු විදේශ ආයතනයක් හෝ විදේශ රජයක් මෙම දත්ත එකතු කිරීමට හෝ ගබඩා කිරීමට සම්බන්ධ නොවන බව ඔහු සහතික කළේය.
ලැබෙන ප්‍රදානයෙන් සිදු කරන්නේ පද්ධතිය සඳහා අවශ්‍ය හාර්ඩ්වෙයාර් සැකසීම සහ "ඕපන් සෝස්" මෘදුකාංග ලංකාවට ගැලපෙන පරිදි සකස් කර දීම පමණි. ඉන් අනතුරුව ව්‍යාපෘතියේ සියලු මෙහෙයුම්, පරිපාලනය සහ ආරක්ෂාව ශ්‍රී ලංකා රජය මඟින් පාලනය කරන බව ඔහු අවධාරණය කළේය.
දත්ත ආරක්ෂාව සහ පරිශීලක විශ්වාසය
පුරවැසියන්ගේ දත්ත ආරක්ෂාව පිළිබඳ කතිකාව ඉතා වැදගත් බව විජේසූරිය පිළිගත්තේය. දත්ත ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් කරමින් පවතින බවත්, ඒ මඟින් ආයතනවලට හෝ රජයට නිකරුණේ පුරවැසියන්ගේ දත්ත පරිහරණය කිරීමට ඉඩක් නොලැබෙන බවත් ඔහු පැහැදිලි කළේය.
ජනතාව දැනටමත් විදේශ විශා අයදුම් ලබා ගැනීම, පාස්පෝට් ලබා ගැනීම වැනි අවස්ථාවල ජෛවමිතික දත්ත ලබා දෙන බවත්, මෙය අලුත් දෙයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
ජෛවමිතික දත්ත එකතු කිරීම
වර්තමානයේ මධ්‍යස්ථාන 500-600ක් පමණ ජෛවමිතික දත්ත ලබා ගැනීමට සූදානම් වෙමින් පවතින අතර, වසර 1 1/2ක් ඇතුළත සමස්ත වැඩිහිටි ජනගහනයෙන් ජෛවමිතික දත්ත ලබා ගැනීමට ඉලක්ක කර ඇත. එම කාලය තුළ මධ්‍යස්ථාන 2,000ක් පමණ ස්ථාපිත කිරීමටත්, ප්‍රමුඛතා ඇති කණ්ඩායම් වන සුබසාධන ප්‍රතිලාභීන් වැනි කොටස්වලට මුල් අවස්ථාව ලබා දීමටත් සැලසුම් කර ඇත.
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය
ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් ජනතාව තුළ තවමත් අකමැත්තක් ඇති බවත්, බොහෝ දෙනෙකු මුදල් භාවිතයට ප්‍රමුඛතාවය දෙන බවත් පිළිගත් ආචාර්ය විජේසූරිය, මෙය වෙනස් කිරීමට ජාලීය වාසිය (network effect) ශක්තිමත් කළ යුතු බව පැවසීය. ඩිජිටල් ගෙවීම් සඳහා එකතුවන පිරිස වැඩි වන විට, ඒ හරහා ලැබෙන ප්‍රතිලාභද වැඩි වන බව ඔහු පෙන්වා දුන්නේය.
ටැක්සි රියදුරන් වැනි සේවා සපයන්නන් තමන් විසින් විදුලි බිල්, පෙට්‍රල් ගැසීම වැනි දෑ සඳහා ද මුදල් ගෙවන තාක් කල්,
ඔවුන් ද ඔවුන්ගේ ආදායම් මුදලින් ලැබීමට කැමති වන බවත්, මෙම චක්‍රය කඩා ගැනීමට ජාලීය ප්‍රවර්ධනය අවශ්‍ය බවත් ඔහු පැහැදිලි කළේය.
2025 වන විට ජනගහනයෙන් 100%ක්ම ඩිජිටල් ආර්ථිකයට ප්‍රවේශය ලබා දීමේ ඉලක්කය පවතින බව විජේසූරිය මහතා සඳහන් කළේය. තාක්ෂණය පමණක් නොව, මානසිකත්වය, සංස්කෘතිය හා ක්‍රමවේද වෙනස් කිරීමද අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, ප්‍රතිලාභ පැත්තෙන් බැලූ විට, දූෂණය සහ වංචා අවම කිරීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමටත් ඩිජිටල්කරණය ඉවහල් වන බව ඔහු පෙන්වා දුන්නේය.
ඩිජිටල්කරණය හරහා අපනයන ආදායම් ඉහළ නැංවීමේ ඉලක්ක ද ඇති බව විජේසූරිය මහතා පැවසීය. දැනට ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් පමණ වන වාර්ෂික අපනයන ආදායම, අවුරුදු 5ක් තුළ ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇත.
2025 අයවැයෙන් ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 3ක් වෙන් කර ඇති අතර, ඊට අමතරව රජය විසින් රුපියල් බිලියන 21.8ක් ඩිජිටල්කරණය සඳහා වෙන් කර ඇති බව විජේසූරිය සඳහන් කළේය.
ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සාර්ථක කිරීම සඳහා රටේ සියලුම විද්වතුන්, නිපුණතා ඇති පුද්ගලයින් හා පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු කැමැත්ත පළ කළේය. "මෙය ජාතික ව්‍යාපෘතියක් විය යුතු අතර, කිසිවකුගේ තනි ව්‍යාපෘතියක් නොවිය යුතුය" යැයි ඔහු අවධාරණය කළේය.
විජේසූරිය මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ, ලොව ඉදිරියෙන් සිටින රටවල් අනුගමනය කරමින්, ඔවුන් අත්කර ගත් දියුණුව ශ්‍රී ලංකාවට ද අත්කර ගැනීමට මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය උපකාරී වන බවයි. "ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි ඉලක්කයක් කරා යාමට මෙම ඩිජිටල් පරිවර්තනය අත්‍යවශ්‍ය" යැයි ඔහු අවධාරණය කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval