prasanna-chandana-and-anuruddha-appointed-to-the-presidential-media-division

 ප්‍රසන්න පෙරේරා මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත. ඔහුගේ පත්වීම් ලිපිය  අද දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ප්‍රදානය කරන ලදී.
ඒ සමගම ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස නිල වශයෙන් පත් කර ඇත. එසේම, ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර තිබේ.



මෙම නිලධාරීන් තිදෙනා අද (පෙබරවාරි 24) දින සවස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපි භාරගත්හ.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇති චන්දන සූරියබණ්ඩාර මහතා, මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙස ප්‍රෙක්ෂක හදවත් දිනාගෙන සිටින අතර ඔහු සිරස වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා ලේඛකයෙකුද වෙයි.



දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා, ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේය. ලොකුහපුආරච්චි මහතා ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වශයෙන්ද කටයුතු කරයි.

මෙම නව පත්වීම් තුළින් ජනාධිපති මාධ්‍ය අංශය වඩාත් ශක්තිමත් කිරීමටත්, දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් රජයේ සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත් අපේක්ෂා කෙරේ.