
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පවුල් 2,278කට අයත් පුද්ගලයන් 7,194 දෙනෙකු පානීය ජලය නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
මෙම අර්බුදයට මුහුණ දී ඇති ජනතාව අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,885කට අයත් පුද්ගලයන් 5,776 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 393කට අයත් පුද්ගලයන් 1,418 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු විසින් තවදුරටත් පවසා සිටියේය. විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙම ජල අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ අපහසුතාවට පත් ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිසරික හා සමාජීය) වජිරා තිරාණගම මහත්මිය පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජලය නොලැබීම හා අඩු පීඩන තත්වයන් යටතේ ජලය ලැබෙන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙන බවයි. එවැනි ප්‍රදේශවල ජනතාවට ගැටලුවකින් තොරව ජල සැපයුම ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත්, අවශ්‍ය අවස්ථාවලදී ජල බවුසර් යොදාගෙන ජලය බෙදා හැරීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.
"රටපුරා පවතින දැඩි උණුසුම් කාලගුණ තත්වයත් සමඟ ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතිනවා. එසේම ජනතාවගේ ජල පරිභෝජනයද ඉතා ඉහළ මට්ටමක පවතිනවා," යැයි තිරාණගම මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. විශේෂයෙන්ම වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීම අවම කර, අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය යොදාගන්නා ලෙස තිරාණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් කැලණිගඟ සහ කල්පිටිය ආශ්‍රිතව ලවණ බාධක ඉදිකරමින් පවතින බවද ඇය පැවසුවාය. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශවල ජල මූලාශ්‍ර දැඩි ලෙස පහළ මට්ටමක පවතින බවත් ඇය අවධාරණය කළාය.
"මෙවැනි තත්වයන් යටතේ උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්වයක් හෝ ජලය නොලැබී යාමේ තත්වයන් ඇති විය හැකියි,"
යැයි තිරාණගම මහත්මිය පෙන්වා දුන්නාය.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිම ධාරිතාවකින් ජලය බෙදාහැරීමට දැනටමත් පියවර ගෙන ඇති බවත්, ජල පරිභෝජනය ඉහළ යාම හා මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් ජල සැපයුම අඩාළ වීම හෝ නොලැබී යාම සිදුවුවහොත් ජල බවුසර් යොදාගෙන ජලය බෙදාහැරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය ප්‍රකාශ කළාය.
ජලය සැපයීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් 1939 අංකයට දැනුම් දෙන ලෙසද වජිරා තිරාණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval