
ජල පිරිපහදු කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති ලයිම් කන්ටේනර් 25ක ක්‍රෝමියම් ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බවත්, එමගින් පිළිකා සහ වකුගඩු රෝග ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත් පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අනුව, මෙම ලයිම් තොගය ශ්‍රී ලාංකික පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එහි ක්‍රෝමියම් ප්‍රතිශතය අධික බව තහවුරු වී ඇත. මෙම සොයාගැනීම තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පෞද්ගලික රසායනාගාරයක පරීක්ෂණයකට ද ලක් කර ඇති අතර,
එමගින් ද මෙම තත්ත්වය තහවුරු වී තිබේ.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රත්මලාන, ගාල්ල සහ අඹතලේ පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානවල පිරිසිදු කරන ජලය රටේ බොහෝ ප්‍රදේශවල පානීය ජලය ලෙස භාවිත කරන බවයි. ජලය පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය සඳහා නිශ්චිත මාර්ගෝපදේශ පවතින අතර, එහිදී භාවිත කළ යුතු රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ ප්‍රමාණයන් පිළිබඳව පැහැදිලි නියමයන් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජලයේ ක්‍රෝමියම් ප්‍රමාණය ඉහළ යාම මගින් පිළිකා, වකුගඩු රෝග මෙන්ම අංගවිකල දරු උපත් ද ඇති විය හැකි බවට මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය. මෙම නව ක්‍රියාවලිය පසුගිය සති දෙක තුළ ආරම්භ වී ඇති බව පෙන්වා දුන් ඔහු, මෙය කාගේ අවශ්‍යතාවය මත සිදුවන්නේද යන්න පිළිබඳව ගැඹුරු සැකයක් පළ කළේය.
ඒ අනුව එම කන්ටේනර් වහාම ප්‍රති අපනයනය කළ යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කළේය.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා මෙම තත්ත්වය පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීමක් සිදු කළේය.
ඔහු පැවසූ පරිදි, ජල පිරිපහදුව සඳහා භාවිත කරන ලයිම් නිෂ්පාදනය සංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලියක් නොවන අතර, එය ප්‍රධාන වශයෙන් හුණුගල් මත පදනම් වේ. හුණුගල් ප්‍රභේද දෙකක් ලෙස කොරල්පර ආශ්‍රිත හුණුගල් සහ කඳු ආශ්‍රිත හුණුගල් හඳුනාගත හැකි බව ඔහු පැහැදිලි කළේය.
මන්ත්‍රීවරයා තවදුරටත් පැහැදිලි කළේ සාමාන්‍ය ක්‍රියාවලියේදී හුණුගල් තාපයට ලක් කිරීමෙන් කැල්සියම් ඔක්සයිඩ් නිපදවන බවත්, ඉන්පසු ජලය එකතු කිරීමෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්වන බවත්ය. මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී භාවිත කෙරේ.
ස්වභාවික හුණුගල් හෝ කැල්සියම් කාබනේට්වල බැර ලෝහ අඩංගු නොවන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් ව්‍යාජ නිෂ්පාදන ක්‍රියාවලියකදී බැර ලෝහ එකතු වීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්නේය.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ජල පිරිපහදුව සඳහා ලයිම් ආනයනය කිරීමේදී ටෙන්ඩර් ප්‍රදානය කිරීමෙන් පසු සාම්පල තුන් වතාවක් පරීක්ෂා කරන බවත්, නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන අවස්ථාවලදී ඒවා ආපසු යැවීමට කටයුතු කරන බවත්ය. මෙම කාරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා විසින් අද දින වැඩිදුර නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval