the-presidential-secretariats-luxury-vehicles-to-be-auctioned

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් රජයේ වියදම් අවම කිරීමේ හා මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රථම පියවර ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් සුඛෝපභෝගී වාහන විකිණීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. අද අයවැය කතාවේදීද මේ ගැන මතක් කළ අතර ජනපතිවරයා කියා සිටියෙ වාහන ආනයනයට අවසරදී මිල සැකසෙන කල් බලා සිට මෙම පියවරට එලැඹි බවයි.

මෙම වාහන වෙන්දේසියේ පළමු අදියර සඳහා වන නිල දැන්වීම්  ජනපති හා අගමැති කාර්යාල වලින් පුවත්පත්වල පළ කර ඇති අතර, විකිණීමට නියමිත ඉහළ පෙළේ වාහන රැසක් ඒ යටතේ ලැයිස්තුගත කර තිබේ.

මෙම ක්‍රියාමාර්ගය රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ ප්‍රතිපත්තියේ සැලකිය යුතු පියවරක් ලෙස සැලකෙන අතර, එය රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ උත්සාහයක් ලෙස දැක්විය හැකිය.



ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ මෙම වාහන වෙන්දේසිය හරහා රජයේ වාර්ෂික නඩත්තු වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම, මෙම මුදල් ඉතිරි කිරීම් ජනතා සුභසාධන වැඩසටහන් සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති වාහන අතර විශේෂයෙන් ඉහළ වටිනාකමකින් යුත් මෝටර් රථ, ජීප් රථ සහ සුඛෝපභෝගී වාහන ඇතුළත් වන අතර, මේවා සියල්ල පූර්ණ තාක්ෂණික පරීක්ෂණයකට ලක් කර ඇති බව වගකිව යුතු නිලධාරීන් පවසයි.

මෙම වාහන මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට දැන්වීම්වල සඳහන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට හැකි අතර, වැඩි විස්තර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අංශය අමතන ලෙස දන්වා සිටී.

මෙම වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී තවත් රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වාහන විකිණීමට සැලසුම් කර ඇති අතර, එමගින් රජයේ වාර්ෂික වියදම තවදුරටත් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
දැන්වීම් දෙක පහත පරිදිය.