New guaranteed price for paddy purchase announced: Nadu Rs. 120 per kilo, Samba Rs. 125, Keeri Samba Rs. 132

වී අලෙවි මණ්ඩලය විසින් 2025 වසරේ මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වන සහතික මිල ගණන් අද (05) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නව මිල ගණන් යටතේ වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120 කටද, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කටද මිලදී ගැනීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එක්ව මෙම නව මිල ගණන් නිවේදනය කළහ.



මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ මෙම මිල ගණන් තීරණය කිරීමේදී ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය මෙන්ම සහල් මිල ගණන් ද සැලකිල්ලට ගෙන ඇති බවයි. වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී සඳහා නියමිත වියළි තත්ත්වයේ පැවතීම අනිවාර්ය කරුණක් බවද ඒ මහතා අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ වී වගාව සඳහා යන සියලු පිරිවැය සාධක ගණනය කිරීමෙන් අනතුරුව මෙම මිල ගණන් තීරණය කර ඇති බවයි.

මෙම කාර්යය සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

මෙවර ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන් ගොවි ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන සුවිශේෂී පියවරක් ලෙස සැලකිය හැකි අතර, වී වගාවේ නිරත ගොවි ජනතාවට සාධාරණ මිලක් ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, වී අලෙවි මණ්ඩලයේ මිලදී ගැනීම් මධ්‍යස්ථාන හරහා මෙම කටයුතු සිදු කරන බවත්, ගොවීන්ට තම නිෂ්පාදන ඉතා පහසුවෙන් අලෙවි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් පැවසීය.

මෙම නව මිල ගණන් නිවේදනය කිරීමත් සමඟ වී ගොවීන් අතර යම් සහනයක් ඇති වී තිබෙන අතර, පසුගිය කාලයේ පැවති අධික නිෂ්පාදන වියදම හමුවේ මෙම මිල ගණන් සාධාරණ බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසති.



තවද, වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගන්නා වී සඳහා නියමිත ප්‍රමිතීන් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. මේ අනුව, වී තෙතමන ප්‍රතිශතය, අපද්‍රව්‍ය මිශ්‍ර වීම වැනි සාධක පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බව නිලධාරීහු පවසති.

මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වීමත් සමඟ රටේ සහල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටත්, ගොවි ජනතාවට සාධාරණ ආදායමක් ලබා දීමටත් හැකි වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.