the-couple-stayed-at-the-hotel-the-day-before-and-ate-ice-cream-after-the-murder-the-lord-came-to-nugegoda-to-buy-clothes

කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනිමින් පුළුල් විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර කරුණු රැසක් අනාවරණයවී තිබේ.

ඩුබායි හි සැඟව සිටි හා දැනට ඉතාලියේ සිටින බව කියන කෙහෙල්බද්දර පද්ම නමැති පාතාල නායකයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වී ඇතැයි සැකකරන මෙම ඝාතන සැලැස්මේ ප්‍රධාන චරිත දෙක වන්නේ නීතිඥ වෙස් ගත් වෙඩික්කරු සහ ඔහුට සහය දුන් නීතිඥ වෙස් ගත් කාන්තාවයි. පොලිස් විමර්ශන වාර්තා අනුව, මෙම දෙදෙනා අඹුසැමි යුවළක් ලෙස පෙනී සිටිමින් ඉකුත් 14 වැනිදා සිට මීගමුව දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටිමින් ඝාතන සැලැස්ම සකස් කර ඇත.

විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ හෝටල් කාමර සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණයක් සහ ඊයම් කොළ කැබලි කිහිපයක් සොයාගෙන ඇත.

ඝාතනය සිදුකළ දින උදෑසන වැගන් ආර් වර්ගයේ වැන් රථයකින් හෝටලයෙන් පිටව ගිය ඔවුන් නීතිඥ ඇඳුමින් සැරසී සිටි බවක් වාර්තා නොවේ.

ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇති මහරගම දඹහේන පාර පදිංචි සමිඳු දිල්ෂාන් කඳනාරච්චි (27) නැමැත්තා 2014 වසරේදී මොහොමඩ් ෂෙරීෆ්ඩීන් නමින් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇත. 2020 වසරේ කොමාන්ඩෝ බළකායට එක්වූ ඔහු එම වසරේම පුහුණුව අතරතුර පලා ගොස් ඇති අතර, 2024 වසරේ පොදු සමාව යටතේ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්ව සිටියේය. අවසන් කාලයේ ඔහු මහරගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ එළවමින් අයිස් ගසමින් සිටි බවටද ආරංචි හෙළිව ඇත.

බටුවත්තේ චාමර සහ හඳපාන්ගොඩ හඳයා වැනි සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ සැකකරු, සීදුව ප්‍රදේශයේ ව්‍යාපාරික සහෝදරයන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පියා ඝාතනය කිරීම, ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම වැනි අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය පවසයි. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ඔහුට කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති අතර, ඊට පෙර ලක්ෂ දෙකක අත්තිකාරම් මුදලක්ද ලැබී තිබේ.

ඝාතන සැලැස්මේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇති මීගමුව, කටුවැල්ලේගම පදිංචි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (25) නැමැත්ති කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පවත්වන බව හෙළි වී ඇත. ඇගේ පවුලේ සාමාජිකයන් නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී සිටි බවත්, ඇය ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වී සිටි බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඝාතනයට දින තුනකට පෙර විශාල ගමන් මල්ලක් රැගෙන නිවසින් පිටව ගිය ඇය, විදේශගත වන බව පවසා ඇති නමුත්, ඝාතනයෙන් පසු ඇය හා වෙඩික්කරු යන දෙදෙනාම හඳුනාගත් බැවින් රටින් පැන යාමට අවස්ථාව නොලැබුණු බව පොලිසිය පවසයි.



ඝාතනය සිදුකළ ආකාරය ගැන විමර්ශනවලින් හෙළි වී ඇති තොරතුරු අනුව, සැකකරුවන් දෙදෙනා මල්වතු හිරිපිටිය ප්‍රදේශයෙන් කුලියට ගත් ෆිට් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් අධිකරණයට පැමිණ ඇත. ඔවුන් මෝටර් රථය කුලියට ගැනීමේදී ඉතාලියෙන් පැමිණි අය ලෙස හඳුන්වා දී ඇති අතර, මහරගම ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වන බව පවසා ඇත.

මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ නීතිඥවරුන්ගේ සංගමයේ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් අධිකරණයට ඇතුළු වූ සැකකරුවන්, ඝාතනයෙන් පසු කලබලයෙන් පලා යාමට උත්සාහ කළ අතර, කාන්තාවට මෝටර් රථය සොයාගත නොහැකි වූ බැවින් ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇත.

ඝාතනයෙන් පසු වෙඩික්කරු නුගේගොඩ ප්‍රදේශයේ රෙදි සාප්පුවකින් ඇඳුමක් මිලදී ගෙන, තිබුණ ඇඳුම් මාරුු කරගෙන ඇති අතර පසුව කාන්තාව සමඟ මහරගම හරහා කොට්ටාවට ගොස් කටුනායක දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත. කටුනායක ප්‍රදේශයේදී ඔහු වෑන් රථයකට මාරු වී ඇති අතර, කාන්තාව කුලී රථයෙන්ම මීගමුව දෙසට ගමන් කර ඇත. වෙඩික්කරු පුත්තලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායට හසුවූ අතර, එවිට ඔහු නීතිඥ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක ලෙස හැඳුනුම්පතක් පෙන්වා ඇත. ඔහු පුත්තලම පලාවියෙන් බෝට්ටුවකට නැගී පලායන්නට පෙර හසුකරගන්නට පොලිස් නිලධාරීන්ට හැකි විය.

සිද්ධියට සම්බන්ධ වූ වෑන් රථයේ රියැදුරු වන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන (44) ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෑන් රථයේ අංක තහඩු වයාජ ඒවා බව හඳුනාගෙන ඇත.සැකකරුවන් දෙදෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා ගැනීමට නියෝග ලබාගෙන ඇති අතර, ඉදිරියේදී දින 90ක කාලයක් රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය පවසයි.

කාන්තාව සමඟ දුරකතන සබඳතා පැවැත්වූ බව කියන මීගමුව පොලිසියේ උසාවි අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් සිටී.



සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති අතර, ඝාතනය පිටුපස යම් යම් ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බව සැක පහළ කර ඇත. ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් සමඟ කුලුපගව හැසිරීම සහ මිය ගිය සංජීවට වෙඩි උණ්ඩ හයක් තබන තෙක් ආරක්ෂක අංශවල ක්‍රියාකලාපය පිළිබඳව ගැටලු මතු කර ඇත. වෙඩි තබා පලායන සැකකරු පසුපස කිසිදුු ආරක්ෂකයෙකු හෝ එලවා යන්නේද නැත.


සිද්ධියෙන් පසු පලා ගිය වෙඩික්කරු සහ කාන්තාව පැළඳ සිටි නීතිඥ කබා, අනෙකුත් ඇඳුම් පැළඳුම්, සපත්තු සහ ව්‍යාජ නීති හැඳුනුම්පත කොච්චිකඩේ ප්‍රදේශයේදී මහමගට විසි කර දමා තිබෙනු සොයාගෙන ඇත. මේ වන විට පලා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් සිටී.

වෙඩික්කරු කොමාන්ඩෝ පුහුණුව ලැබූ හිටපු යුද හමුදා සාමාජිකයෙකු වීම සහ ඔහු විවිධ අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා පැවැත්වීම විශේෂ අවධානයට ලක්ව ඇත. එමෙන්ම ඝාතනයට සම්බන්ධ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධතා පැවැත්වූ පවුල් පසුබිමකින් පැමිණි අයෙකු වීම ද සැලකිය යුතු කරුණකි.



සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුරේෂ් නන්දිමාල් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ බූස්ස බන්ධනාගාරය බන්ධනාගාර නිලධාරීන්ගේ "සුදු අලියෙක්" බවත්, එහි නිසි ආරක්ෂාවක් නොමැති බවත්ය. තහනම් භාණ්ඩ එම බන්ධනාගාරයෙන් අල්ලා ගැනීමට හැකි වීමත්, රැඳවියන් පිළිබඳ තොරතුරු මුදලට ලබා දීමත් පිළිබඳව ඔහු විශේෂ අවධානය යොමු කර ඇත.

මේ අතර, මිය ගිය ගණේමුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ අවසන් කර ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු සිදු කරන දිනය තවම තීරණය කර නොමැති අතර, එම අවස්ථාවේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.
ඝාතන සිද්ධියෙන් පසු දෙදෙනා පැනගිය අයුරු සීසීටීවී දර්ශන පහතින්