
පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට අදාළව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ මෙරට පොලිසිවලට අවශ්‍යම සැකකරුවන් තිදෙනකු ඉකුත් සිකුරාදා ඩුබායි රාජ්‍යයේ සිට ගුවන් මඟින් මෙරටට ගෙන එනු ලැබූහ.
එලෙස ගෙන එනු ලැබූ සැකකරුවන් තිදෙනා අතර මෙරට සිදුවූ ආන්දෝලනාත්මක මිනිස් ඝාතනයකට සම්බන්ධ සැකකරුවකුද විය. රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නමැති ඔහු පුවක්ගහවත්ත, මාකන්ද, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු ඉකුත් වසරේ ජනවාරි මස 22 වැනිදා බෙලිඅත්ත පොලිස් වසමේ බෙලිඅත්ත-වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පොලිසියට අවශ්‍යම සැකකරුවකු විය.
මොහු එම සිද්ධියෙන් පසු ඩුබායි රාජ්‍යය වෙත පලාගිය අතර අවසානයේ බෙලිඅත්ත පොලිසිය විසින් ඔහුට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබා ගත්තේය. ඒ ඔහු දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහාය.
සැකකරු කලක් පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස රහස් පොලිසියේ සහ ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර තිබූ අතර මංකොල්ලයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා ඔහුගේ සේවය තහනම් කර තිබිණි.
ඉකුත් වසරේ ජනවාරි 22 වැනිදා පැජරෝ වර්ගයේ ජීප්රියකින් පැමිණි තුවක්කුකරුවන් ඩිෆෙන්ඩර් රථයක ගමන්ගත් පුද්ගලයන් ඉලක්කකොට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන් වලස්මුල්ල - බෙලිඅත්ත මාර්ගයේ කහවත්ත පාලම අසල ඇති වෙළෙඳසලක ඩිෆෙන්ඩරය නතරකොට ආහාර ලබා ගනිමින් සිටියදීය. මෙම ප්‍රහාරයෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා හෙවත්"රෝයල් බීච් සමන්” ඇතුළුව පස්දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර බෙන්තොට වරාහේන පදිංචි 33 හැවිරිදි සමීර මධුසංඛ, ඉඳුරුව ගල්බඩ පදිංචි 40 හැවිරිදි හසිත චින්තක, කුරුණෑගල ගැට්ටුවාන පදිංචි 36 හැවිරිදි බුද්ධික රාජපක්ෂ, දෙමටගොඩ පදිංචි 43 හැවිරිදි චම්පික ජයතිලක යන සිවුදෙනාම මරුවැලඳ ගත්හ.
බෙලිඅත්ත පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම පිරිස තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි අයවලුන් බවය. රෝයල් බීච් සමන්, සමීර මධුසංඛ සහ චම්පික ජයතිලක එම - නඩුවේ විත්තිකරුවෝය. 2022 ජුනි මස 5 වැනිදා තංගල්ල, මෝරකැටියආරේදී සිදුකළ වෙඩි තැබීමකින් කුඩාවැල්ලේ අසංක සම්පත් නමැති ධීවරයෙක් ඝාතනය විය. ඒ ඔහු තවත් මිතුරන් දෙදෙනකු සමඟ කැයකින් ගමන් කරමින් සිටියදීය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් කැබ්රියේ ගමන් ගත් අසේල සම්පත් ඉලක්කකොට වෙඩි වරුෂාවක් එල්ල කළේය. වෙඩි ප්‍රහාරයෙන් අසේල සම්පත් මරු වැලඳ ගත් අතර ඔහුගේ මිතුරන් දෙදෙනාද තුවාල ලැබූහ. ඝාතනය වූ අසේල දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් බව විමර්ශනයේදී හෙළි විය.
තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර ඝාතනයට ආධාර අනුබල දීමේ වරදට රෝයල් බීච් සමන් සමඟ සමීර මධුසංඛ සහ චම්පික යන තිදෙනාද පොලිසියේ අත්අඩංගුවට පත්වූහ. රෝයල් බීච් සමන් කරළියට ආවේ මෙම සිදුවීමෙන් පසුවය. කලකට පසු ඇප මත නිදහස්ව පැමිණි සමන් ඉදුරුව ප්‍රදේශයේ හෝටලයක්ද පවත්වාගෙන යමින් පාතාල අපරාධකරුවන්, දේශපාලනඥයන් සහ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන්ද සමීපව ඇසුරු කළේය.පසුකාලීනව දකුණේ සිදුවූ ඝාතන කිහිපයකටම සමන්ගේ නමද ඇඳිණි. බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ස්ටැන්ලි තාබෲ සහ
ඔහුගේ පුතකු වන ටෙර් තාබෲ ඝාතනවලටද සමන්ගේ සබඳකම් තිබූ බවටද හෙළිවිය. ටෙර් තාබෲ සංවිධානාත්මක අපරාධකරුවකු වූ කොස්ගොඩ සුජීගේ සමීපතමයකු විය. ටෙර්ගේ ඝාතනය සුජීට ඉහිලුම් නොදෙන්නක් විය. මේ නිසා දෙතුන් වතාවක්මසිය ගෝලබාලයන් යොදවා රෝයල් බීච් සමන් ඝාතනය කිර්මට කොස්ගොඩ සුජී උත්සාහ කළේය.
වරෙක තුවක්කුකරුවන් යොදා ඉඳුරුව හෝටලය ඉදිරිපිටදී සමන් ගමන්ගත් ජීප් රථයටද වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී සමන් රථයෙන් බැස දිවගොස් ජීවිතය බේරා ගත්තද ඔහු සමඟ සිටි විදේශිකයකු වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්විය. මේ නිසා කොස්ගොඩ සුජී සිටියේ රෝයල් බීච් - සමන් සමඟ තදබල වෛරයකින්ය. සුජීගේ මාමා කෙනකු සහ ඥාතියකු ඝාතනය වීමත් සමඟ එම වෛරය තවත් උග්‍ර විය. ඒ අනුව විමර්ශන නිලධාර්න් සැක කළේ රෝයල් බීච් සමන් ඇතුළු පස්දෙනා ඝාතනය මෙහෙයවා ඇත්තේ කොස්ගොඩ සුජී බවය.කෙසේ වෙතත් එවකට වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.
සී.සී.ටී.වී. කැමරා දත්ත විමර්ශනයට මහඟු පහසුවක් ගෙන දුන්නේය. එම විමර්ශනයේ ප්‍රතිඵලයකට වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය සහ තුවක්කුකරුවන් පැලද සිටි ජැකට් සහ හිස්වැසුම් අකුරැස්ස බංගම ප්‍රදේශයේ නිවෙසක තිබී සොයා ගැනීමට හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සමත් වූහ. එමෙන්ම නිවෙසේ තිබූ යතුරක්ද සොයාගත් නිලධාරීන් ඒ ඔස්සේ කරන ලද විමර්ශනයේදී හෙළිකරගත්තේ එම යතුර ප්‍රහාරයට තුවක්කුකරුවන් පැමිණි කොළ පැහැති පැජරෝ රථයේ යතුර බවය.නිවෙසේ සිටි පුද්ගලයකුද අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් භූමියේ පොදු රථගාලේ තිබී එම ජීප් රියද සොයා ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ කොස්ගොඩ සුජීගේ සමීපතමයකු වන ඩුබායි හර්ෂගේ උපදෙස් මත ඔහු එම ප්‍රහාරය සැලසුම් කර ඇති බවය. රුපියල් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට බෙලිඅත්ත ඝාතනය සිදුකර තිබිණි.මෙම විමර්ශනයේදී තුවක්කුකරුවන් පවා හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි වූ අතර ප්‍රහාරය සඳහා පැමිණි ජීප් රිය ලක්ෂ 24ක මුදලකට රැගෙන තිබුණේ හිටපු උප පොලිස් පරීක්ෂක මහේෂ්ගේ නමට බවද විමර්ශනයේදී අනාවරණය විය. පොලිස් කණ්ඩායම් තුවක්කුකරුවන් සහ සැකකරුවන් හොයද්දී ඔවුන් හොර රහසේ ඩුබායි රාජ්‍ය වෙත පලාගියේය. එලෙස පලාගිය පුද්ගලයන් හදුනාගත් විමර්ශන නිලධාරීන් ඔවුනට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු ලබා ගත්තේය. එම වරෙන්තුවකට අනුව ඉකුත්දා පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මහේෂ් ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශවලට කොටු වූ අතර එම බලධාරීන් මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටපෝල් ශාඛාව හරහා මෙරටට දැනුම් දෙනු ලැබීය. පසුව ඩුබායි බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් ඉකුත් 7 වැනිදා මහේෂ් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකුද ගුවන් මඟින් කටුනායක ගුවන් තොටු පොළ හරහා මෙරටට රැගෙන ආහ. එලෙස රැගෙන පැමිණි අනෙක් දෙදෙනා වූයේ ප්‍රදීප් සඳරුවන් නොහොත් කොළොන්නාවේ චන්දන සහ නාඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලිය. කොළොන්නාවේ චන්දන කොළොන්නාව ශ්‍රී ආනන්දාරාම මාවතේ පදිංචි 40 හැවිරිදි අයෙක් විය. ඔහුට එරෙහිව මිනිස් ඝාතනයක් සිදුකිරීම සහ ඝාතන කිහිපයකට තැත් කිරීමේ චෝදනා එල්ල වී තිබිණි.
2021.06.30 වැල්ල පිටිය පොලිස් වසමේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම, 2022.01.31 වැනි දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ලයකුට වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම, 2023.02.15 වැනි දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයකුට පහර දී දේපළවලට අනර්ථය සිදුකිරීම සහ 2023.06.05 වැල්ලම්පිටිය පොලිස් වසමේ ගිනි අව්යකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමද මොහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා විය.
එමෙන්ම 2023.06.18 වැනි දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයකුට ගිනි අව්යකින් වෙඩි තබා තුවාල සිදුකර ඔහු ඝාතනය කිරීමට තැත්කිරීමට අදාළවද මොහු පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු වන අතර අලුත්කඩේ අංක 2 මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තුද නිකුත් කර තිබිණි.මේ අතර මෙලෙස ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන පැමිණි අනෙක් සැකකරු වූයේ නාඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලිය. ඔහු දෙන්කන්දලිය පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 39 හැවිරිදි අයෙකි.
2008.04.16 වැනි දින මාවරල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවකු වන මොහුට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ ඊට අදාළ නඩුවද විභාග වෙමින් පවතී. 2008.10.01 වැනි දින අකුරැස්ස පොලිස් වසමේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය සිදු කිරීමට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු වන මොහුට මාතර මහාධිකරණය විසින් විවෘත වරෙන්තුද නිකුත් කර ඇත. එමෙන්ම ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03ක දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණය කිර්ම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයේ මොහුට එරෙහිව නඩුවක්ද විභාග වෙමින් පවතින බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය. ඩුබායි රාජ්‍යයේ සිට මෙලෙස රැගෙන පැමිණි මොවුන් තිදෙනා කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට රැගෙන ගොස් මූලික විර්ශන පවත්වා ඔවුන්ගෙන් ප්‍රකාශද සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ උඩුකය නිරාවරණය නොවන ආකාරයට දැඩි ආරක්ෂක විධිවිධානවලට අනුව ඔවුහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යනු ලැබූහ.
එහිදී මොවුන් තිදෙනා සිදු කළ අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා පොලිස් ඒකක තුනක් වෙත භාර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාහු පියවර ගත්හ. ඒ අනුව හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ හේමන්ත සිල්වා යන සැකකරු බෙලිඅත්ත පොලිසිය වෙත භාර දෙනු ලැබිණි. ඒ බෙලිඅත්ත සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයට අදාළවය. රොවුඹ උපාලි අකුරැස්ස පොලිස් කණ්ඩායමකට භාර කෙරුණු අතර ඒ අකුරැස්ස සහ මාවරල පොලිස් වසම් තුළ සිදුකෙරුණු ඝාතන සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමටය. කොළොන්නාවේ චන්දන නමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාර දුන් අතර ඒ වැල්ලම්පිටිය පොලිස් වසමේදී හා ඒ ප්‍රදේශවල සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීම සඳහාය.
මෙලෙස භාර කෙරුණු බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවකු වන හේමන්ත සිල්වා නමැත්තා නිලධාරින් විසින් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. මේ අතර රොටුඹ උපාලි නමැත්තා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා අවසර ලැබිණි.
ඉන් අනතුරුව කොළොන්නාවේ චන්දන නමැත්තා අලුත්කඩේ අංක 2 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72ක කාලයක් ප්‍රශ්නකොට ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය අවසර දී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් බුද්ධික මනතුංග මහතා කීවේ ශ්‍රී ලංකාව තුළ අපරාධ සිදුකොට වෙනත් රටවලට පැනගොස් සිටින මෙවන් අපරාධකරුවන් 65 දෙනකුට එරෙහිව මේ වන විටත් රතු නිවේදන ලබාගෙන ඇති බවත් ඔවුන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් නීතිය ඉදිරියට පමුණුවන බවත්ය.
කීර්ති මෙන්ඩිස්
Comments
Post a Comment
Your comment will be visible after approval