tsunami-threat-from-76-earthquake-in-the-caribbean-sea
උතුරු ඇමරිකාව හා දකුණු ඇමරිකාව අතර පිහිටි කැරිබියානු මුහුදේ කේමන් දූපත් අසල සෙනසුරාදා දින සවස සිදුවූ රික්ටර් මාපක 7.6ක භූමිකම්පාවක් හේතුවෙන් ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඉවත්ව යාමට නියෝග කර ඇත.
 අවම වශයෙන් පුද්ගලයින් 270ක් භූමිකම්පාව දැනුණු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට වාර්තා කර ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූමිකම්පාව ප්‍රාදේශීය වේලාවෙන් සවස 6:23ට මුහුද මධ්‍යයේ කිලෝමීටර 10ක ගැඹුරකින් ඇති වූ බවයි. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කේමන් දූපත්වල ජෝර්ජ්ටවුන් නගරයේ සිට කිලෝමීටර 209ක් (සැතපුම් 130ක්) දකුණු නිරිතදිග පිහිටා තිබිණි.

එක්සත් ජනපද ප්‍රධාන භූමියට සුනාමි තර්ජනයක් නොමැති නමුත් පියුටෝ රිකෝව සහ එක්සත් ජනපද වර්ජින් දූපත් සඳහා සුනාමි උපදේශනයක් නිකුත් කර ඇත.පසුව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියුටෝ රිකෝව, එක්සත් ජනපද වර්ජින් දූපත් සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සඳහා නිකුත් කළ සුනාමි උපදේශනය අවලංගු කරන ලදී.



කේමන් දූපත් ආපදා කළමනාකරණ අධිකාරිය වෙරළාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට ගොඩබිමට සහ උස්බිම් කරා යාමට උපදෝශ දී ඇත. රළ උස මීටර 0.3 සිට 1 දක්වා විය හැකි බව ඔවුහු පවසා සිටියහ.

පියුටෝ රිකෝවේ ආණ්ඩුකාර ජෙනිෆර් ගොන්සාලෙස් කොලෝන් මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ සුනාමි උපදේශනයෙන් පසු හදිසි සේවා ආයතන සමඟ සම්බන්ධව සිටින නමුත් වෙරළ ප්‍රදේශවලින් ඉවත් වීමට නිර්දේශ නොකරන බවයි.



ඩොමිනිකන් රජය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට "මීටර 20කට වඩා උස සහ කිලෝමීටර 2ක් ගොඩබිමට වන්නට" පිහිටි ප්‍රදේශ වෙත යාමට නිර්දේශ කර ඇත. ඊළඟ පැය කිහිපය තුළ නැව් මුහුදට පිවිසීමෙන් වැළකී සිටීමට හෝ මුහුදෙන් ඉවත් වීමට ද උපදෙස් දී තිබේ.

කියුබානු රජය වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

හොන්ඩුරාස් බලධාරීන් පැවසූ පරිදි වත්කම්වලට හානි පිළිබඳ වහාම වාර්තා වී නොමැති නමුත්, ඊළඟ පැය කිහිපය තුළ වෙරළවල් වලින් ඈත් ව සිටින ලෙස සිය පුරවැසියන්ට උපදෙස් දී ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කළේය.

කේමන් දූපත් රාජකීය පොලිස් සේවය දැනුම් දුන් පරිදි භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳ තවම වාර්තා වී නොමැත.

කෙසේ වෙතත්, කියුබාව, හොන්ඩුරාස් සහ කේමන් දූපත් සඳහා "සුනාමි තර්ජනය" දිගටම පවතී.